එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන නඩුව කැඳවීමට දින දෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය සහ අගතියට පත් වූවන්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක වන්දියක් ගෙවන ලෙස අදාළ නැව් සමාගම් වෙත නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ නඩුවක් ඔක්තෝම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව ගොනුකර තිබුණේ පරිසරවේදීනියක වන ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් විසින්.

නඩුව අද කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී නියෝග කළේ එය ඔක්තෝබර් මස 09 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසයි.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට සාගර තීරයට මෙන්ම ඒ හා සම්බන්ධ පරිසර පද්ධතියට දැඩි අගතියක් සිදු වූ බවයි.

එසේම ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයන් ඇතුළු සංචාරක කර්මාන්තය නියුක්ත වූවන්ට ද දැඩි අගතියක් සිදු වී ඇති බව පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

එසේ සිදු වූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් ලෙස තක්සේරු කර තිබෙන බවත් පැමිණිල්ලේ සඳහන්.

එම වන්දි මුදල ගෙවීම අදාල නෞකා සමාගම මෙන්ම ඊට සම්බන්ධ රක්ෂණ සමාගම් ද මේ දක්වා පැහැර හැරීමට ඇති බවත් පැමිණිල්ල තුළින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාළ වන්දි ගෙවන ලෙස අදාළ පාර්ශවයන් වෙත නියෝග නිකුත් කරන ලෙසටයි පැමිණිලිකරුවන් කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.