ඉන්දියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලියෙන් පදක්කම් රැසක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණේ

ඉන්දියාවේ පැවති පළමු වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කබඩි ශූරතා තරගාවලියට සහභාගී වූ  ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහි අනුශූරතාවයත් සමග රිදී පදක්කමත් , කාන්තා කණ්ඩායම එහි තුන් වන ස්ථානයට හිමි ලෝකඩ  පදක්කමත් දිනා ගෙන 11/01 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .

මෙම තරගාවලිය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 13 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කගේ සහභාගීත්වයෙන් ඉකුත් 10/23 දින සිට 10/31 දින දක්වා ඉන්දියාවේ අහමදාබාද් නුවර පවත්වා තිබුණා..

මෙම ජයග්‍රහණයන් හිමි කර ගත් ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 11/01 දින පස්වරු 04.08 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලධාරීන් , ශ්‍රී ලංකා පොලීසියේ , ත්‍රිවිධ හමුදා වල ක්‍රීඩා අංශ වල නිලධාරීවරුන් සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් , ඥාතීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.