spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථික අර්බුදයට වගකිවයුත්තන්ට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත්

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හේතු වූ පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි මෙම පෙත්සම් විභාගය පැවැත් වෙන්නේ.

එහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජුලියන් බෝලින් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා.

ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි විගසම රුපියල් බිලියන 600ක පමණ බදු කප්පාදුවක් සිදු කළ බවත් එසේ කප්පාදු කිරීමෙන් අහිමිවන රාජ්‍ය ආදායම යළි අයකර ගැනීමේ ක්‍රමවේදයක් එම රජය සතුව නොතිබූ බවයි.

මෙසේ කප්පාදු කරන බදුවලට අදාල මුදල් යළි ආයෝජන වලට එක්වනු ඇතැයි රජය අපේක්ෂා කළ ද එවැන්නක් සිදු නොවූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එහි ප්‍රතිඵලයක් ලෙස ආනයන ඉහළ ගොස් උද්ධමනය පාලනය කළ නොහැකි ආකාරයට ඉහළ ගිය බවත් සඳහන් කළා.

මෙම තත්ත්වය වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුවක් වූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ අවසානයේ දී මුදල් අච්චු ගැසීමට සිදු වූ බවයි.

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වූ මුල් අවස්ථාවේදීම ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආර්ථික විශ්ලේෂකයින් රජය වෙත පෙන්වා දුන්නත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබාගැනීම සඳහා රජයට වසර එකහමාරක් පමණ ගත වූ බවටත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

2019 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක විදේශ සංචිත පැවතියත් 2022 වසර වනවිට එම ප්‍රමාණය මිලියන 20 ක් දක්වා පහත වැටුනු බව එවක මුදල් අමාත්‍ය අලි ශබ්රි විසින් පිළිගෙන තිබුණේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ එම සංචිත ප්‍රමාණය දිනකට අවශ්‍ය ආනයන පවා ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් නොවූ බවයි.

ඉන් අනතුරුව වැඩිදුර විමසීම හෙට දිනය දක්වා කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?