සමාජ සාධාරණත්වය පදනම් කරගත්, අනාගත ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම සඳහා වූ රජයේ අභිප්‍රාය තුළ විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2026.10.01 දින විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැති “වජ්‍ර ප්‍රභා” මහෝත්සවයට එක්වෙමින්, අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇගයීම් ආයතනය වන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, 1951 සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඇතුලු ජාතික විභාග සහ රාජ්‍ය සේවා තරග විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම හා සහතිකපත් නිකුත් කිරීම ඇතුලු කාර්යයන් සිදු කරනු ලබනවා.
වසරකට ලක්ෂ සංඛ්‍යාත අපේක්ෂකයින්ගේ කුසලතා ඇගයීමට ලක් කරමින් මෙරට අධ්‍යාපන හා වෘත්තීය ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කිරීමට මෙම ආයතනය කැපවී සිටිනවා.
මෙහිදී එම ආයතනයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සැකසූ විශේෂ සමරු මුද්දරය සහ සංවත්සර සඟරාව එළිදැක්වීම සිදු කෙරුණා.
විශ්‍රාමික විභාග කොමසාරිස්වරුන්ට සමරු තිළිණ ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු කෙරුණු අතර, අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, දරුවන්ගේ අනාගතය තීරණය කරන ප්‍රමුඛ ආයතනයක් ලෙස විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි සමස්ත ජනතාවම දැඩි විශ්වාසයක් තබා ඇති බවයි.
මෙම ආයතනය සමාජයේ සාධාරණත්වය හා යුක්තිය තහවුරු කරන ස්ථානයක් බවත්, හැකියාව සහ කැපවීම මත ඕනෑම අයෙකුට ඉදිරියට යා හැකි බවට වන බලාපොරොත්තුව ඇති කරන්නේ ද මෙම දෙපාර්තමේන්තුව හරහා වන බවද ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම, රටේ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් ඉටුවන සුවිශේෂී කාර්යභාරය මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්වුණා.
විශේෂයෙන්ම පසුගිය සමයේ ඇති වූ දරුණු ආපදා තත්ත්වයන් මධ්‍යයේ වුවද, සාමාන්‍ය රාජකාරියෙන් ඔබ්බට යමින් උසස් පෙළ විභාගය කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට නිලධාරීන් දැක්වූ කැපවීම ඇයගේ ප්‍රශංසාවට ලක්වුණා.
තීරණාත්මක අවස්ථාවන්හිදී සියලු දෙනා එකම අරමුණක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීම දෙපාර්තමේන්තුව සතු යහපත් සංස්කෘතියක් බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම, මෙම වසරේදී සිදුකිරීමට නියමිත ගුරු සේවයේ බඳවා ගැනීම්වලට අදාළ විභාග කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව ලබාදුන් සහයෝගය සහ දායකත්වය මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ඉමහත් පැසසුමට ලක්වුණා.
වසර 75ක් පුරා ගොඩනැගූ එම අඛණ්ඩ විශ්වාසය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නව තාක්ෂණය සහ ඩිජිටල්කරණය නිසි ලෙස භාවිත කිරීමේ අත්‍යවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා.
ඩිජිටල්කරණයට යොමුවීමේ දී දෙපාර්තමේන්තුව සතු අතිශය සංවේදී තොරතුරුවල ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පිළිබඳව සිහිපත් කළ ඇය, කාර්ය මණ්ඩලයේ ධාරිතා වර්ධනය වෙනුවෙන් අවශ්‍ය පුහුණු අවස්ථා පුළුල් කිරීමට රජය පියවර ගන්නා බවද ප්‍රකාශ කර සිටියා.










