spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණය හිටපු ජනපති මෛත්‍රීගේ වත්කම් හා බැරකම් ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා නොමැති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් තමන් සතු වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් ලබන දෙසැම්බර් මස 30 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව 2019 වසරේ ප්‍රේල් මස 19 වන දා සිට 2023 වසරේ නොවැම්බර් මස 02 වනදා දක්වා කාලසීමාව තුළ අදාළ වගඋත්තරකරුවන් සතු වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු එම දිවුරුම් ප්‍රකාශයේ ඇතුළත් විය යුතු බවයි අධිකරණය කළ නියෝගයේ සඳහන් වූයේ.

එසේම අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් මේ දක්වා ගෙන තිබෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් දෙසැම්බර් මස 30 වනදාට පෙර ගොනු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළා.

එසේම වගඋත්තරකරුවන් විසින් මෙතෙක් වන්දි මුදල් ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ද දෙසැම්බර් මස 30 වනදාට පෙර ගොනුකරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් නීතිපතිවරයාට නියම කළේ.

එසේම ඉතිරි වන්දි මුදල් ගෙවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ලබන වසරේ ජුනි මස 30 වනදා දක්වා කල් ලබා දුන්නා.

මෙම අවස්ථාවේදී වගඋත්තරකරුවන්ට අදාළව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු පැන නොනගින බවයි විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට නියම කෙරුණු රුපියල් මිලියන 10ක වන්දිය ඔහු විසින් ගෙවා අවසන් කර තිබෙන හෙයින් ඔහු මෙම නඩු විභාගයෙන් මුදා හැරීමටත් අධිකරණය තීරණය කළා.

පාස්කු ප්‍රහාරයට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් අද කැඳවූ අවස්ථාවේ දීයි මෙම නියෝග නිකුත් කෙරුණේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

පෙත්සම් අද යළි කැඳවූ ලැබූ අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ නියෝගයට අනුව පසුගිය ජූනි මාසයෙන් පසු කිසිදු වන්දි ගෙවීමක් සිදු වී නොමැති බවයි.

” ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වන්දි අරමුදලක් ස්ථාපිත කළේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට වන්දි ගෙවන්නයි. එහෙත් වන්දි ගෙවීම සඳහා වගඋත්තරකරුවන් විශාල කාලයක් ඉල්ලා සිටිනවා නම් වින්දිතයින්ට වන්දි ගෙවන්නේ කෙසේද? හිටපු ජනාධිපතිවරයා තමන්ට නියම කළ වන්දිය ගෙවීම සඳහා වසර 10ක කාලයක් ඉල්ලා තිබෙනවා. ඒක විශාල කාලයක්. හිටපු ජනාධිපතිවරයෙකුට මේ වගේ කාලයක් ලබාදුනහොත් සෙසු පුද්ගලයින් ද ඒ වගේ ම කාලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම උනාම වන්දි ගෙවන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. වින්දිතයින් තව තවත් පීඩාවට පත්වෙනවා.” යනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කියා සිටියා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබූ මෝසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ තම සේවාදායකයා අධිකරණ නියෝගයට අවනත වෙමින් කටයුතු කර තිබෙන බවයි.

“ස්වාමීනි….මාගේ සේවාදායකයා රාජකාරිය පැහැර හැරීමක් සිදු කර නෑ. ඔහු අධිකරණ නියෝගයට අවනතව කටයුතු කර තිබෙනවා. රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය ඔහුට නියෝග කළා. ඉන් රුපියල් මිලියන 15ක් ඔහු දැනටමත් ගෙවා තිබෙනවා. ඉතිරිය වාර්ෂිකව රුපියල් ලක්ෂ 50 බැගින් වසර 10 කින් ගෙවා අවසන් කරන්න ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටිනවා. හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මාගේ සේවාදායකයා තමන්ට හිමි අදායම් අධිකරණය හමුවේ පැහැදිලි කර තිබෙනවා. එවැනි තත්වයක් යටතේ ඔහුට අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ඉදිරිපත් කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නෙ වන්දි අයකර ගැනීම සඳහා පත් කර තිබෙන අධිකරණයක් නොවෙයි.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේ ආන්දෝලනාත්මක චැනල් ෆෝ නාලිකාව පසුගියදා ප්‍රචාරය කළ වීඩියෝ පටයෙන් එල්ල කර තිබෙන චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව විසින් තේරීමේ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර ඇති බවයි.

එබැවින් අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීරණයක් ලැබෙන තෙක් මෙම නඩු කටයුතු කල් තබන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සිය සේවාදායකයාට ගෙවන ලෙස නියම කෙරුණු රුපියල් මිලියන 75ක වන්දි මුදලින් ඔහු විසින් රුපියල් මිලියන 4.1ක මුදලක් ගෙවා තිබෙන බවයි.

” ස්වාමීනි මාගේ සේවාදායකයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඔහුට සිය පොලිස් රාජකාරී ජීවිත කාලසීමාව තුළ වැටුප් වශයෙන් ලැබී තිබෙන මුදල රුපියල් මිලියන 21ක් පමණයි. කැනේඩියානු තානාපති කාර්යාලයේ සේවය කරද්දී කැනේඩියානු ඩොලර් මිලියන හතරක් ද උපයා ගෙන තිබෙනවා. ඒ තමා ඔහු සතු සමස්ත වත්කම. මාගේ සේවාදායකයාට එරෙහිව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් විසින් මීගමුව දිසා අධිකරණයේ නඩු 182ක් ද කොළඹ දිසා අධිකරණයේ නඩු 116ක් ද ගොනු කර තිබෙනවා. එම නඩුවලින් රුපියල් බිලියන දෙකකට අධික වන්දියක් වින්දිතයින් විසින් මාගේ සේවාදායකයාගෙන් ඉල්ලා තිබෙනවා. මාගේ සේවාදායකයාට වන්දි ගෙවන්න මුදල් නැහැ. ඔහු සිරගත කිරීමටයි මේ ආකාරයෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ. මාගේ සේවාදායකයා හිතාමතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමක් කර නෑ.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා තම සේවාදායකයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බවත් සඳහන් කර සිටියා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍යමල් කොල්ලුරේ මහතා පැවසුවේ තම සේවාදායකයා විශ්‍රාමික රාජ්‍ය සේවයකයෙකු බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ඔහු විසින් හිතාමතාම පැහැර හැරීමක් සිදු කර නොමැති බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් යම් පාර්ශවයක් ක්‍රියාත්මක කිරීම පැහැර හරින්නේ නම් එය බරපතළ තත්ත්වයක් බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට නියමිත හෙයින් එහි තීරණය ලැබෙන තුරු මෙම නඩුවේ කරුණු සලකා බැලීම අත්හිටුවන ලෙස කරනු ලබන ඉල්ලීම පදනම් විරහිත බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබෙනවා.

සම්පූර්ණ වන්දි මුදල් ගෙවීම අපහසු යැයි වගඋත්තරකරුවන් ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කැඳවා විමර්ශනයක් පවත්වා සුදුසු නියෝග නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා පෙන්වා දුන්නා.

තවත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ වන්දි මුදල් ගෙවීම සඳහා වසර 10ක වැනි කාලයක් ඉල්ලා සිටීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මෙන්ම අධිකරණයට ද කරන අපහාසයක් බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි වන්දි ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් කර ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

ඒ අනුව අධිකරණ නියෝගය පරිදි වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව සිය සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා ගොනු කල බවත් ඔහු සඳහන් කර සිටියා.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් සිදු කෙරුනු මූලික විනය පරීක්ෂණයට අදාළ වාර්තාවක් එම පරීක්ෂණ කමිටුව විසින් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකර ඇති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම විසින් ඊට අදාළ වැඩිදුර කරුණු විනය පරීක්ෂණ කමිටුව වෙත යොමු කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉහත නියෝග නිකුත් කර තිබෙනවා.

ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අදාළ පෙත්සම් නැවත ලබන වසරේ ජුලි මස 15 වනදා කැදවන ලෙසටයි නියෝග කෙරුණේ.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 12ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?