spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අටමස්ථානාධිපති නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වෙයි

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම අද පස්වරුවේ සිදු කෙරුණා.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවති උත්සවයකදී උන්වහන්සේට සන්නස් පත්‍රය පිළිගන්වනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට දේශපාලන පක්ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

අටමස්ථානාධිපති ධූරයෙහි වැඩවිසූ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුවයි අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව 11 වැනි අටමස්ථානාධිපති හිමි ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ තේරී පත් වුණේ.

1954 ජුනි 15 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම දී උපත ලැබූ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ මාතලේ බුලාගල ප්‍රාථමික විද්‍යාලය, පැල්වෙහෙර විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් වලින් සිය මූලික අධ්‍යාපනය ලැබුවා.

1968 මැයි 09 වැනිදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවිදි දිවියට ඇතුලත් වූ උන්වහන්සේ 1975 ජුනි 05 වැනිදා මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලබා ගත් අතර අනුරාධපුර මහාවිහාර පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා පසුව මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ සහ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා.

1977 වසරේ සිට 1988 දක්වා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේවා කටයුතු භාරව කටයුතු කළ උන්වහන්සේ, 1982 සිට 1997 වසර දක්වා මහා විහාර පිරිවෙනෙහි ආචාර්යවරයෙකු හා පරිවේණාධිපති වහන්සේ ලෙස කටයුතු කළා.

ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා සිටින උන්වහන්සේ ලාංකේය ගීත සාහිත්‍ය සුපෝෂිත කළ විශිෂ්ට ගීත රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි හේමරතන නා හිමියෝ 1988 සිට අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස වැඩ සිටිමින් ම සංස්කෘතික ත්‍රිකෝණයේ, ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා.

1995 වසරේ දී නුවරකලාවිය උප ප්‍රධාන සංඝනායක පදවියට පත් වූ පල්ලේගම හේමරතන නා හිමියන් 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දරනු ලැබුවා.

1997 වසරේ දී රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට පත් වූ උන්වහන්සේ එම වර්ෂයේම නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූවා.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය ආරම්භ කරමින් රුවන්වැලි මහා සෑය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ මෙරට ආගමික පුනර්ජීවනය වෙනුවෙන් නිහඬ මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමි නමක්.

3 9
2 10
1 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?