‘ශ්‍රී ලංකා කුරුඳු’ (Ceylon Cinnamon) ජාතික භූගෝලීය දර්ශකයක් (National Geographical Indication – GI) ලෙස ලියාපදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණ කර තිබෙනවා.
ඒ අනුව, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO) විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ලංකා කුරුඳු සඳහා මෙරට පළමු භූගෝලීය දර්ශක සහතිකය පිරිනමනු ලැබුවා.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කුරුඳු කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වකරුවන් සමඟ අපනයන සංවර්ධන මණ්ඩලය දශකයකට ආසන්න කාලයක් සිදුකළ වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 පෙබරවාරි 02 වැනිදා යුරෝපා සංගමය විසින් ‘ශ්‍රී ලංකා කුරුඳු’ භූගෝලීය දර්ශකයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
ශ්‍රී ලංකා නිෂ්පාදනයක් සඳහා යුරෝපා සංගමය තුළ ලියාපදිංචි කළ පළමු භූගෝලීය දර්ශකය මෙය වන අතර, රටට අනන්‍ය වූ කුරුඳු නිෂ්පාදනය සඳහා එම පිළිගැනීම හිමිවීම විශේෂත්වයක්.
භූගෝලීය දර්ශකයක් යනු කිසියම් භූගෝලීය ප්‍රදේශයකින් ආරම්භ වන නිෂ්පාදනයක් එම ප්‍රදේශයට ආවේණික ගුණාත්මකභාවය, කීර්තිය හෝ වෙනත් විශේෂ ලක්ෂණ සහිත බව හඳුනාගැනීම සඳහා භාවිත කරන සලකුණක් වනවා.
මෙම GI තත්ත්වය ලබාගැනීමේ ප්‍රධාන අරමුණ වන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ අලෙවි කෙරෙන ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත කුරුඳු නිෂ්පාදන වෙනත් ආදේශක නිෂ්පාදනවලින් වෙන්කර හඳුනාගැනීමයි. ඒ හරහා ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම, නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීම සහ පාරිභෝගිකයන්ගෙන් ඉහළ මිලක් ලබාගැනීමේ හැකියාව උදා වනවා.
එමෙන්ම යුරෝපා සංගමය වැනි ප්‍රධාන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදනවල තරගකාරීත්වය ඉහළ නැංවීමටත්, අපනයන ආදායම වැඩි කිරීමටත්, අගය දාම සංවර්ධනය තුළින් ඉහළ ආදායම් හා රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් මෙමඟින් දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම තත්ත්වය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ ලෝක වෙළෙඳ සංවිධානය (WTO) තාක්ෂණික සහාය ලබාදී තිබේ. නෙදර්ලන්තය පදනම් කරගත් වෙළෙඳ භාණ්ඩ සඳහා වන පොදු අරමුදල මූල්‍ය ආධාර සපයා ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) කුරුඳු ක්ෂේත්රයේ ප්‍රවර්ධන හා පුහුණු කටයුතු සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා තිබෙනවා.










