විදුහල්පති සේවයේ වැටුප් විෂමතා විසඳීමට අනුකාරක සභාවක්

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇති වන වැටුප් විෂමතා සහ ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කළා.

අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කෙරුණා.

2014 ඔක්තෝබර් 22 දින නිකුත් කළ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම හේතුවෙන් ඇති වී තිබෙන වැටුප් විෂමතාව පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වුණා.

ගුරු සේවයේ 1 වන ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින විශාල වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව මෙහිදී නිලධාරීහු පැවසුවා.

එසේම 03/2014 චක්‍රලේඛය මගින් විදුහල්පති සේවයට පත් වන අවස්ථාවේ ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ රැඳී සිටියා නම් හිමිවන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් නැවතත් වැටුප් පරතරයක් ඇතිවන බව ද නිලධාරීන් පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් ගුරු සේවයේ 1 වන සහ 2-I ශ්‍රේණිවල සිටින ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් පවතින බවද සාකච්ඡා විය. එබැවින් ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම “නව පත්වීමක්” වෙනුවට “උසස්වීමක්” ලෙස සැලකෙන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව අවධානය යොමු වුණා.

ගුරු සේවයේ උසස්වීම් ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, විශ්වවිද්‍යාලයකින් පත්වීමක් ලබා පැමිණෙන නව ගුරුවරයෙකුට ගුරු සේවයේ 1 වන ශ්‍රේණිය දක්වා පැමිණීමට වසර 19ක පමණ සේවා කාලයක් ගතවන බව කමිටුව විසින් පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම අධ්‍යාපනවේදී (B.Ed) උපාධිධාරීන් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට සෘජුව බඳවා ගැනීම පිළිබඳවද අවධානය යොමු වුණා.

මේ අතර, 2030 වසර දක්වා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට පෙර පැවැති ක්‍රමවේදයට අනුව ගුරු පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ වාචිකව එකඟතාවකට පැමිණ ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

ඒ අනුව, මෙම වසර තුළ B.Ed උපාධිධාරීන් ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මෙම බඳවා ගැනීම් දැනට පැවැත්වෙන 23,000ක ගුරු බඳවා ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් නොකර, පළාත් මට්ටමින් පවතින විෂයානුබද්ධ පුරප්පාඩු පදනම් කර ගනිමින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද සාකච්ඡා වුණා.

පාසල් පද්ධතියේ පවතින සැබෑ විෂය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි B.Ed උපාධි පාඨමාලා යාවත්කාලීන කිරීම සඳහා විශ්වවිද්‍යාලවලට 2030 දක්වා කාලය ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන් විද්‍යාව, ගණිතය සහ ප්‍රාථමික අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර සඳහා විශේෂිත B.Ed පාඨමාලා හඳුන්වාදීමේ අවශ්‍යතාව ද මෙහිදී කමිටුව විසින් පෙන්වා දෙනු ලැබුවා.

මේ අතර, දකුණු පළාතේ රසායනාගාර සේවකයින් සහ මුරකරුවන් 261 දෙනෙකු සඳහා වැඩිපුර ගෙවා තිබූ වැටුප් අයකර ගැනීමේ ගැටලුව පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වූ අතර 2008-2009 වර්ෂවලදී අදාළ වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවර වෙනුවට 12 වන වැටුප් පියවරේ පිහිටුවීම හේතුවෙන් රුපියල් මිලියන 50.8ක පමණ වැඩිපුර වැටුප් ගෙවා ඇති බව මෙහිදී අනාවරණය වුණා.

2016 වසරේදී මෙම කරුණ අනාවරණය වී ඇති අතර, 2022 වසරේදී ඒ පිළිබඳ විගණන විමසුමක් මගින් විමසා ඇති බවත්, මේ වන විට වැටුප් වර්ධක අත්හිටුවීම සහ වැටුපෙන් අයකර ගැනීම මගින් රුපියල් මිලියන 15.1ක මුදලක් අයකරගෙන ඇති බවත් සඳහන්.

මෙම පරිපාලනමය දෝෂයට සේවකයින් සෘජුව වගකිව යුතු නොවන බවත්, ඔවුන් වෙත නිකුත් කළ පත්වීම් ලිපිවල නිශ්චිත වැටුප් තලයක් සඳහන් කර තිබූ බවත් මෙහිදී පැමිණි පිරිස විසින් පෙන්වා දුන්නා.

ඒ අනුව, සේවකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ සාධනීය මැදිහත්වීම ලබාගැනීම සඳහා ඔහුගේ අවධානයට ලිපියක් යොමු කිරීමටද කාරක සභාව තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්