වයස් කාණ්ඩ පහක් ආවරණය වන පරිදි අන්තර්ජාල ආරක්ෂණ මාර්ගෝපදේශ මාලාවක්

සිසුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වයස් කාණ්ඩ පහක් ආවරණය වන පරිදි මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව වෙත දැනුම් දී තිබෙනවා.

මෙම මාර්ගෝපදේශ මත පදනම් වූ නියමු ව්‍යාපෘතියක් ලබන නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) මෙම සභාව රැස් වුණා.

එම රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති කිහිපයක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාව මෙන්ම, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වන සිසු ඇගයීම් රාමුව ද ඊට ඇතුළත්.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන අංශවල ගුණාත්මකභාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා උප කමිටුවක් කටයුතු කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මේ අතර, උසස් අධ්‍යාපන මට්ටමේ ඉංජිනේරු, වෛද්‍ය සහ කෘෂිකාර්මික අධ්‍යාපනය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම පිණිස විශේෂ කමිටු පත් කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මෙහිදී සඳහන් කළා.