ලාෆ්ස් ගෑස් සමාගමෙන් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්

නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03 ක් දිවයිනට ළඟාවීමට නියමිත බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා.

ඒ, අනුව හම්බන්තොට වරායට නොවැම්බර් 12- 14ත් කොළඹ වරායට නොවැම්බර් 15-17ත් හම්බන්තොට වරායට නොවැම්බර් 24-28ත් ලෙසින් ගෑස් නැව් ළඟාවීමට අපේක්ෂිත බවයි එම සමාගම පවසන්නේ.

එම සමාගම පවසන්නේ හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය හරහා දේශීය වෙළඳපොළට ගෑස් සැපයීම සඳහා අවශ්‍ය අනුමැතියෙන් ලබාගැනීමට අදාළ බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවයි.

ගෑස් සැපයුමට එල්ල වූ බාධා හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සමාගම සිය කණගාටුව පළකරන බවත් අදාළ නිවේදනයේ සඳහන්.

වසර විසිපහකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ LPG වෙළඳපළට සේවය සපයන දේශීය සමාගමක් ලෙස ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමටත් දිගු කාලීන සැපයුම් විශ්වසනීයත්ව ශක්තිමත් කිරීමටත් අඛණ්ඩව කැප වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.