රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධියට සම්බන්ධ විදෙස් තරුණියක් රටින් පළායෑමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජර්මන් ජාතික තරුණියක් මෙලෙස කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු මෙම 33 හැවිරිදි විදෙස් ජාතික කාන්තාව අලුත්කඩේ 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
ඇප ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
මෙම විදෙස් ජාතික කාන්තාව චීනය බලා පළායාමට තැත් කිරීමේ දී ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර තිබුණේ.
මෙම කාන්තාව පසුගිය අප්‍රේල් මස 28 වනදා රුසියානු තානාපති කාර්යාලයට පැමිණ එහි ආරක්ෂක අංශ වෙත ලැප්ටොප් පරිගණකයක් ලබාදී පිටව යාමත් සමඟ එම තානාපති කාර්යාලය තුළ බෝම්බ බියක් ද හටගත්තා.