රාජ්‍ය අත්අඩංගුවේ දී සිදුවන මරණ ගැන බන්ධනාගාරයේ සිටින නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්

රජයේ අත්අඩංගුවේ සිටිය දී පුද්ගලයින්ට පහරදීම්, වධහිංසා පැමිණවීම් සහ මරණ සිදුවීම තනි තනි සිදුවීම් ලෙස සැලකිය නොහැකි බවත්, එම පිරිස්වල ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, තමා අත්අඩංගුවේ පසු වූ කාලය තුළදී බන්ධනාගාර තාප්පවලින් එපිට සිටින්නේ ද රාජ්‍ය ආයතනවල ආරක්ෂාව මත ජීවිතය පවතින මනුෂ්‍යයන් බව පැහැදිලි වූ බවයි.

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදනීය සිදුවීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගිය බවත්, මරණ පරීක්ෂණ වාර්තා අනුව ඉන් 17 දෙනෙකු වෙඩි වැදීමෙන් ද, 11 දෙනෙකු ප්‍රහාරයන්ට ලක්වීමෙන් ද මියගොස් ඇති බව අධිකරණයේදී අනාවරණය වූ බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම මෑතකදී හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි ඉෂාර හර්ෂකුමාර සහ කුරුණෑගල කොබෙයිගනේ දී 41 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණ, රජයේ අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ට සැලකීම සහ ආරක්ෂාව පිළිබඳ තවත් බරපතල ප්‍රශ්න මතු කර ඇති බවයි මන්ත්‍රීවරයා සිය එක්ස් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මීගමුව සිදුවීම සිදුවී මාස 04කට ආසන්න කාලයක් ගතවී තිබුණද, අධිකරණ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නොමැති බවත්, වගවීම පිළිබඳ ගැටලුව තවමත් විසඳී නොමැති බවත් ඔහු සඳහන් කරනවා.

මානව හිමිකම් කොමිෂන් සභාව ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් ස්වාධීන පරීක්ෂණ කැඳවා ඇති බව ඔහු එහි දක්වා තිබෙනවා.

“නීතියේ ආධිපත්‍යය තෝරාගත් පරිදි ක්‍රියාත්මකවන විට එහි අර්ථය නැතිවී යනවා. දේශපාලන වාසිවලින් ඔබ්බට ගොස් සාධාරණත්වය ඉෂ්ට විය යුතුයි,” යනුවෙන් පවසන මන්ත්‍රීවරයා පුද්ගලයෙකුගේ නිදහස සීමා කළ හැකි වුවද ජීවත් වීමේ අයිතිය, ගෞරවය සහ ආරක්ෂාව අහිමි කළ නොහැකි බවයි වැඩිදුරටත් සිය සටහන මඟින් පෙන්වා දී ඇත්තේ.