ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (15) ප.ව. 11.30 වන විට මෙම පද්ධතිය, ත්‍රිකුණාමලය සිට කි.මී. 640 ක් පමණ දුරින්, ඊසාන දෙසින් ස්ථානගත වී තිබුණු බවයි කාලගුණ නිවේදනයේ සඳහන්ව තිබුණේ.
තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ඇදෙමින් අද දින (නොවැම්බර් 16) සවස් කාලයේදී දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘ සුළි කුණාටුවක්’ දක්වාත්, නොවැම්බර් 17 වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘ ප්‍රබල සුළි කුණාටුවක්” දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද දිනයේ සිට (16) බලාපොරොත්තු වනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණ පළාත්වල සහ මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.
ඌව පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.
