Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොළඹ වරාය නගරයේ දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය විවෘතවෙයි

කොළඹ වරාය නගරයේ CHEC Port City Colombo (Pvt) Ltd සමාගම විසින් ඉදිකර ඇති දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය දෙසැම්බරයේදී විවෘතකිරීමට නියමිත බවට වාර්තාවෙනවා.

කොළඹ වරාය නගරය තුළ නවීනතම වායු ආධාරක ගොඩනැගිලි ව්‍යුහය හෙවත් ‘Air Dome’ පහසුකම ලබන මස අවසන් වන විට විවෘත කිරීමට සූදානම් බව CHEC Port City Colombo (Pvt) Ltd සමාගමේ ඉඩම් සංවර්ධන හා අලෙවි විධායක අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශලක විජේරත්න ප්‍රකාශ කරනවා.

ජාත්‍යන්තර රැස්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (MICE) ඇතුළු මහා පරිමාණ උත්සව සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ඉදිකෙරෙන මෙම ස්ථානයේ එකවර පුද්ගලයින් 4,000කට පමණ අසුන් ගත හැකිවෙනවා.

ඩුබායි ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානවල පවතින ආකෘතියට සමානව මෙය නිර්මාණය කෙරෙනවා.

මෙය වරාය නගරයේ ප්‍රධාන සැලැස්මට අනුව ඉදිකිරීමට නියමිත මෙරට විශාලතම බහුකාර්ය සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය සඳහා පූර්වගාමී සහ අතරමැදි පහසුකමක් ලෙස ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා.

අනාගතයේදී ඉදිකෙරෙන එම ස්ථිර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය තුළ ආසන 4,000ක ගෘහස්ථ බහුකාර්ය අවකාශයක් සහ 5,000ක පිරිසකට රැඳී සිටිය හැකි එළිමහන් පරිශ්‍රයක් ඇතුළත් වීමට නියමිතයි.

ඊට යාබදව කාමර 400ත් 450ත් අතර සංඛ්‍යාවකින් යුත් තරු පන්තියේ ව්‍යාපාරික හෝටලයක් ඉදිකිරීම සඳහා ද ඉඩකඩ වෙන් කර ඇති බවටත් වාර්තාවෙනවා.