ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට

සිය නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් රජයේ ඉඩමක් පෞද්ගලික පාර්ශ්වයක් සතු ඉඩමක් ලෙස පෙන්වා රජයට පාඩුවක් සහ වෙනත් පාර්ශ්වයකට වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් කටයුතු කළ බව කියන සිද්ධියට ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ විමර්ශන කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (විමර්ශන) ලෙස කටයුතු කළ පුද්ගලයෙක්.

සැකකරු විසින් ආයතනයේ ලිපි ශීර්ෂ භාවිත කර, විධිමත් නොවන විමර්ශන අංකයක් යටතේ නිකුත් කරන ලද ව්‍යාජ විමර්ශන වාර්තාවක් මගින් මෙම වංචාව සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බොරැල්ල එලියට් පාර පිහිටි, ප්‍රමාණයෙන් හෙක්ටයාර් 1.0982ක් වන සහ රුපියල් 1,586,000,000.00ක (බිලියන 1.5කට අධික) වෙළදපොළ වටිනාකමකින් යුත් රජයේ ඉඩමක් මෙලෙස පෞද්ගලික ඉඩමක් ලෙස හැඳින්වීම මඟින් රජයට පාඩුවක් සිදු කිරීමට මෙම සැකකරු උත්සාහ කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (29) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.