ඇෆ්ගනිස්ථානයට තවදුරටත් පාකිස්ථානයෙන් ගුවන් ප්‍රහාර

පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්කකර එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් එකම පවුලේ පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් තලේබාන් බලධාරීන් පවසනවා

ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග කුනාර් පළාතේ නුර්ගල් දිස්ත්‍රික්කයට අලුයම 4ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති අතර, නිවසක් ඊට ගොදුරු වී ඇති බවයි ඇෆ්ගන් බලධාරීන් සඳහන් කරන්නේ.

පක්ටිකා පළාතේ බර්මාල් දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකට ද බෝම්බ ප්‍රහාර එල්ල වී තිබෙනවා. එහිදී වෙළෙඳසලක් සහ කිසිවෙකු නොසිටි නිවසක් විනාශ වී ඇති නමුත් ජීවිත හානි වාර්තා වී නොමැති බව තලේබාන් නියෝජ්‍ය ප්‍රකාශක හම්දුල්ලා ෆිට්රාට් පවසනවා.

කෙසේ වෙතත්, පාකිස්ථාන තොරතුරු අමාත්‍යාංශය පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ ඉලක්ක තුනකට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් “ත්‍රස්තවාදීන්” 28 දෙනෙකු මරා දැමූ බවයි. ඇෆ්ගන් පාර්ශ්වය වාර්තා කරන සිවිල් මරණ සහ පාකිස්ථානය ප්‍රකාශ කරන සන්නද්ධ සාමාජිකයන්ගේ මරණ සංඛ්‍යාව ස්වාධීනව තහවුරු වී නැහැ.

මෙම ප්‍රහාර එල්ල වන්නේ මාස තුනකට ආසන්න සාපේක්ෂ සන්සුන් කාලයකින් පසුව වන අතර, දෙරට අතර යළිත් ආතතිය උත්සන්න වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඇෆ්ගන් භූමිය තුළ සිටින සන්නද්ධ කණ්ඩායම් පාකිස්ථානයට දේශසීමා හරහා ප්‍රහාර එල්ල කරන බවට ඉස්ලාමාබාද් පාලනය චෝදනා කරනවා. කෙසේ වෙතත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන ඇෆ්ගන් තලේබාන් රජය පවසන්නේ පාකිස්ථානය තුළ පවතින ප්‍රචණ්ඩත්වය එරට අභ්‍යන්තර ගැටලුවක් බවයි.

මීට දින කිහිපයකට පෙර පාකිස්ථානයේ කොහාට් ප්‍රදේශයේ පොලිස් පරිශ්‍රයක පිහිටි මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් සහ ඉන් අනතුරුව ඇතිවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් 21 දෙනෙකු මියගිය අතර, ඔවුන්ගෙන් වැඩි පිරිස පොලිස් නිලධාරීන් බව පාකිස්ථාන බලධාරීන් පවසනවා.

එම ප්‍රහාරයට ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක සන්නද්ධ පිරිස් සම්බන්ධ බවට චෝදනා කළ පාකිස්ථානය, අවශ්‍ය වුවහොත් ඇෆ්ගන් භූමිය තුළ එම කණ්ඩායම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ හැකි බවට ද මීට පෙර අනතුරු අඟවා තිබුණා.