ආනවිලුන්දාව වැවේ මසුන් සහ පක්ෂීන් හදිසියේම මිය යාමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා.
ආනවිලුන්දාව රැම්සා අභය භූමිය තුළ පිහිටි මෙම වැවේ තිලාපියා නම් මත්ස්‍ය විශේෂය තැන තැන මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුව ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.
මෙම වැවේ තිබෙන ජලජ ශාක වසර ගණනාවකින් ඉවත් කර නොමැති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.
එම නිලධාරීන් සදහන් කරන්නේ ජලජ ශාක ඉවත් නොකිරීම හේතුවෙන් වැව්වල ඇති ඇල්ගී මිය යන බවයි.
එලෙස මිය ගොස් ඇති ඇල්ගී ආහාරයට ගන්නා මසුන් ද මිය යාමට හැකි බවයි එම නිලධාරීන් වැඩිදුරටත් සදහන් කළේ.
වැවේ තිබෙන ජලජ ශාක ඉවත් කිරීම සහ විශාල මත්ස්‍යන් අල්ලාගැනීම මේ සඳහා පිළියමක් ලෙස යෙදිය හැකි බව ජලජීවී වගාව සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සදහන් කර සිටියා.
මේ අතර අද (13) දහවල් වන විට ආනවිළුන්දාව වැවේ සිටි පැස්තුඩුවා නමින් හදුන්වන විශාල ප්‍රමාණයේ පක්ෂීන් කීපදෙනෙකු ද මිය ගොස් සිටිය දී සොයා ගෙන තිබෙනවා.
මත්ස්‍යයින් මෙන්ම පක්ෂීන් එකවර මිය යාමට හේතුව අනාවරණය කර ගැනීම් සඳහා පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි වන ජීවී නිලධාරීන් සදහන් කළේ.