Update – ලංකාවට එද්දී ම ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැනුණු හේතුව පොලිසිය පහදයි

2024 වර්ෂයේ දී නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිවරයාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට නොගැනීම බලපෑම් කිරීම් චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් මත; සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තා අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළේ.

සැකකාර ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට එරෙහිව තිබූ චෝදනාවට නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මොහුට විදෙස් ගමන් තහනමක් සහ අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර තිබුණේ.

ඒ, අනුව අද (11) දින අලුයම සැකකාර ඩෑන් ප්‍රියසාද් ඩුබායි සිට දිවයිනට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර ඩෑන් ප්‍රියසාද් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.