Update – කපිල චන්ද්‍රසේනට ව්‍යාජව ඇප තැබූ දෙදෙනාගෙන් පාපොච්චාරණයක් – ග්‍රාම සේවක සහතික 17ක් අරන්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා 2026 ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ ග්‍රාම සේවක සහතික 17ක් ලබාගෙන ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බව කෙසෙල්වත්ත පොලිසිය අද (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ දැන්වුවා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ඩි අනුරුද්ධ ඒ බව අධිකරණයට දැනුම් දුන්නා.

කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා සම්බන්ධීකරණය කළ මැදිහත්කරු ලෙස කටයුතු කළ බව කියන 76 හැවිරිදි පුද්ගලයා ඇතුලු සැකකරුවන් තිදෙනා ලබන 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කර එක් එක් සැකකරුවන්ට අදාළ වරදවල් සම්බන්ධයෙන් සම්පින්ඩිත වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද එහිදී මහේස්ත්‍රාත්වරයා කෙසෙල්වත්ත පොලිසියට නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන්, බී.ඒ. තිස්ස නමැති සැකකරුවන්.

සිද්ධියට අදාල සිව්වන සැකකරුවන පෙරුමල් ගනේශ් නමැත්තාගේ හඳුනා ගැනීමේ පෙරට්ටුව අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වූවා.

කෙසෙල්වත්ත පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ඩි අනුරුද්ධ අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, මෙම සිද්ධියට අදාළව 2026 ජනවාරි මාසයේ සිට 2026 මැයි මාසය දක්වා පළමු සහ දෙවන සැකකරුවන් විසින් ග්‍රාම සේවක සහතික 17ක් ලබාගෙන ඇති බවයි.

උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ඩි අනුරුද්ධ,

” ස්වාමීනි, මෙම සැකකරුවන් මැයි 05 වන දින ඇප ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළයි. මේ වෙද්දී ඒ නඩුවට අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසෙල්වත්ත වසමේ ග්‍රාම නිලධාරී වන එස්. නිලන්ත සිල්වාගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඔහු ලබා දුන් ප්‍රකාශ අනුව නිත්‍යානුකූලව 2019 සිට 2025 දක්වා පළමු සහ දෙවන සැකකරු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්. මෙම පුද්ගලයන් දෙදෙනා 2026 ජනවාරි මාසයේ සිට 2026 පස්වැනි මාසය දක්වා ග්‍රාම නිලධාරී සහතික 17ක් අරගෙන. පළමු සැකකරු ග්‍රාමසේවක සහතික 10ක් සහ දෙවන සැකකරු ග්‍රාම සේවක සහතික 7ක් වශයෙන් අරගෙන. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලබනවා. මෙම සිද්ධියට අදාළ මහ මොළකරු යැයි සැලකෙන තුන්වන සැකකරුවන තිස්ස නමැත්තා මෙලෙස අධිකරණ භූමියේ සිට ඇප ලබාදීමට දිගින් දිගටම කටයුතු කරලා තිබෙනවා. තුන්වන සැකකරු බන්ධනා නිලධාරීන්ගේ සහාය ඇතිව කටයුතු කරලා. සිද්ධියට අදාළ හතරවන සැකකරු වන ගනේෂ් නමැත්තා ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරලා. පළමු දෙවන සහ තුන්වන සැකකරුවන් මෙම සිද්ධියට අදාලව ඇප ලබාගැනීමට සිටි පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දන්නෑ. එසේම කිසිම ඥාතීත්වයක් නැති බවට ද තොරතුරු අනාවරණය වෙනවා.ස්වාමීනි මේ වන විට ඇප ලබා ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.එසේ ජීවිතක්ෂයට පත්වීමට මෙම කරුණ ද පාදක වී ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරනවා. එම මරණයට අදාළව තවමත් කටයුතු සිදු කරනවා.එහි විමර්ශන කටයුතු වලට මොවුන්ට ඇප ලබා දුන්නොත් බාධාවක් විය හැකි බැවින් එහි විමර්ශන අවසන් වන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට සිට නීතිඥ සංජය ගමගේ අධිකරණයට දන්වා සිටියේ මගේ සේවා දායකයන් සම්බන්ධයෙන් නිශ්චිත වරදවල් නොදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

නීතිඥ සංජය ගමගේ,

“පොලිසිය නිශ්චිතම සඳහන් කරන්නේ නැහැ. සියදිවි නසා ගැනීමේ සිද්ධිය මේකට අදාළ දෙයක් නෙවෙයි. විමර්ශන නිලධාරියා සඳහන් කර විදිහට එහෙනම් බන්ධනාගාර නිලධාරීන් ද අත්අඩංගුවට ගන්න ඕනි. ග්‍රාම සේවක සහතික අරන් තියෙනවද. තිස්ස කිසිම වාසියක් නොතකා අත්අඩංගුවට අරන්. බී වාර්තාවේ තියෙන වරද අනුව තමා අපි ඇප ගන්න කටයුතු කරන්නේ ආණ්ඩුවේ බලපෑම පොලිස්පතිගේ බලපෑම යැයි කියලා මිනිස්සු රිමාන්ඩ් කරන්න බැහැ නීතිය සැමට එකයි. පොලිසිය කිසිම වගකීමක් ගන්නේ නැහැ.”

මහේස්ත්‍රාත්වරයා,

”හතරවන සැකකරුට අදාලව පෙරටුවෙන් පසු කරුණු දක්වන්න.”

උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ඩි අනුරුද්ධ,

“ස්වාමීනී පළමු සහ දෙවන සැකකරුවන්ගේ ග්‍රාම සේවා සහතික මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. හතරවන සැකකරු අත්අඩංගුවට ගත්තේ ආධාර අනුබලදීම මත.සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා.”

මහේස්ත්‍රාත්වරයා,

”තුන්වන සැකකරුටද වකුගඩු රෝගයක් තිබෙනවාද ?”

නීතීඥවරයා,

“එසේ ස්වාමීනී.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල පළමු දෙවැනි සහ තුන්වන සැකකරු මැයි 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එම සැකකරුවන්ට අදාළව තිබෙන වරදවල් සම්බන්ධයෙන් සම්පින්ඩිත වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

අධිකරණය විසින් සැකකාර කපිල චන්ද්‍රසේනට රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප තුනක් නියම කර තිබූ අතර මෙම සැකකරුවන් දෙදෙනා ඉන් දෙකක් සඳහා ඉදිරිපත් වී තිබුණා.

කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරුවන් කපිල චන්ද්‍රසේන සමඟ කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් හෝ හඳුනාගැනීමක් නොමැතිව, රුපියල් 15,000 ක මුදලක් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇති බවයි.

දේවා සහ තිස්ස නමැති පුද්ගලයින් දෙදෙනෙකු කළ ඉල්ලීමක් මත තමන් මෙම මුදල ලබාගත් බව සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා.

ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවක දී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම ඇපකරුවන්ට නොහැකි බවත්, සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට හැඟී ගොස් තිබූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව සිදු කළ පැමිණිල්ලකට අනුව ඔවුන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ බව අධිකරණයේදී හෙළි වුණා.

මෙය 1997 අංක 30 දරන ඇප පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34