SLIIT ආයතනය ගැන කෝප් කමිටුවෙන් නිර්දේශයක්

මහපොළ අරමුදලට අයත් වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පූර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත් කිරීම අනීතිකව සිදුවී ඇති බව පැහැදිළි වන බවත් නැවත එය මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට නෛතික පියවර ගන්නා ලෙසත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

මේ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ යන අයට නිර්දේශ කරනු ලැබුවා.

2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය සඳහා ලලිත් ඇතුළත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය 09 වනදා කැඳවූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබාදීම සිදු කෙරුණා.

2015 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ඇති කරගත් ගිවිසුමකට අනුව එවකට සිටි අමාත්‍යවරයාගේ අනුදැනුම මත එම වත්කම පවරාගත් ආකාරය නීති විරෝධි බව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

මේ සඳහා රු. මිලියන 408ක මුදලක් SLIIT ආයතනය විසින් මහ‍පොළ අරමුදලට ගෙවා ඇති බවත් අරමුදලටම අයත් ආයතනයක් විසින් අරමුදලට මෙම මුදල ගෙවා අයිතිය ලබාගැනීම ගැටලු සහගත බවත් සාමාජික මන්ත්‍රීවරයෝ පෙන්වා දුන්නා.

මේ අනුව මෙහිදී වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදීම මගින් ඉදිරියට හෝ මෙවැනි අනීතික සහ වංචනික ක්‍රියාවන් නැවැත්විය යුතු බවත් කෝප් සභාපතිවරයා අවධාරණය කළා.

මෙහිදී අදහස් දැක්වූ අරමුදලේ ප්‍රාරම්භක ලෙස නිලබලයෙන් පත්වන වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ මෙවැනි වංචාවන් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත් ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.

රාජ්‍ය ආයතනයක් ලෙස සත්භාවයකින් ආරම්භ කළ මෙම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ, නිල බලයෙන් පත්වූ රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ බවත් කල් ගතවන වන විට විශාල වශයෙන් ලාභ ලබා මුදල් ගැවසෙන තැනක් බවට පත්වන බවට හඳුනාගැනීමෙන් ‍ඇතිවූ තෘෂ්ණාව හේතුවෙන් මෙය අනීතිකව රජයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් එවකට මෙම පවරා ගැනීමට විරුද්ධවූ නිලධාරියෙකු කාරක සභාව ඉදිරියේ පවසා සිටියා.

එමෙන්ම මෙම විමර්ශන කටයුතු හරහා සිසුන් විශාල ගණනාවක් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලයක් කඩාවැටීමට ලක්විය හැකි බවට වැරදි මතයක් ගොඩ නැගීමට ඇතැම් පිරිසක් උත්සහ කළ හැකි බවත් මෙහිදී සාකච්ඡා වුණා.

ඒ අනුව SLIIT ආයතනය එලෙසින්ම පවත්වා ගනිමින් භාරකාරීත්වය මහපොළ අරමුදල සතු කළ යුතු බවත් ඒ හරහා සහනදායි මිලකට වැඩි සිසුන් පිරිසකට උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීමටත් කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණා.

එමෙන්ම පෙර පැවති රජය සමයේදී අරමුදලේ අභ්‍යන්තර විගණක තනතුර ඇතුළු වැදගත් තනතුරුවල පුරප්පාඩු නිසි පරිදි සම්පූර්ණ කිරීමට කටයුතු නොකිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වුණා.

මෙතරම් විශාල මුදලක් සංසරණය වන ආයතනයක කාර්ය මණ්ඩලය නිසි පරිදි සම්පූර්ණ නොකිරීම එහි කාර්යක්ෂමතාව පිළිබඳ විශාල ගැටලුවක් බව ද කාරක සභාව පෙන්වා දුන්නා.

භාර අරමුදල මගින් පරිපාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් කෝපරේෂන් සමාගම සහ එම සමාගම මගින් පරිපාලිත සී/ස නැට්වෙල්ත් සෙකියුරිටීස් සමාගම්වල වත්මන් තත්ත්වය පිළිබඳවත් සාකච්ඡා වුණා.

පාඩු ලබමින් තිබූ සමාගම්වලට නැවත අරමුදලේ අරමුදල් ආයෝජනය කිරීම සහ ඒ හා සම්බන්ධ ගැටලු රැසක් පවතින බැවින් මේ සම්බන්ධව වෝහාරික විගණනයක් සිදු කොට ඉදිරි පියවර ගතයුතු බවට තීරණය වුණා.

විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා හා ශිෂ්‍යත්වයක් ලැබීමට සුදුසු ශිෂ්‍යයන් වැඩි ප්‍රමාණයකට මහපොළ ශිෂ්‍යාධාර ලබාදීමට ඇති හැකියාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුව තිබුණා.

අරමුදලේ සභාපතිවරයා පැවසුවේ දැනට මූලධනය ලෙස පවතින රුපියල් බිලියන 20 කට ආසන්න මුදලෙන් ලැබෙන පොළී සහ අනෙකුත් ආදායම් කළමනාකරණය කරගනිමින් උපරිම සාධාරණත්වයක් ඉටු කිරීමට කටයුතු කරන බවයි.

මීට අමතරව 2023 වසර තුළ කොන්ත්‍රාත් පදනම මත වසර 02ක කාල සීමාවකට වෙළඳ ප්‍රදර්ශන නිලධාරීන් පත් කිරීම, මාර්ගගත ලොතරැයියක් සඳහා තෝරාගත් ලොතරැයිකරු එයින් ඉවත්වීම නිසා අරමුදලට රුපියල් මිලියන 750ක අලාභයක් සිදුවීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු වූ අතර, ඒවා පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26