LTTEය වළදාපු රත්‍රං ගොඩගන්න ගිය ඇමැති ලේකම්වරු

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්‍රන් තොගයක් අධිකරණ නියෝගයක් මත ගොඩ ගැනීමට පෙර එම රත්‍රන් තොගය ගොඩ ගැනීමට තැත්කළ ඇමැති ලේකම්වරුන් දෙදෙනකු ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස පරීක්ෂණ අරඹා ඇත්තේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ කාර්යමණ්ඩල ලේකම්වරුන් දෙදෙනකු සම්බන්ධවය.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ ය මගින් වළදමා ඇතැයි කියන මෙම රත්‍රන් තොගය පිළිබඳ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව මෙමස 25 වැනිදා කැණීම් කිරීමට සැලසුම් කර තිබී ඇත. නමුත් මහවිරු සැමරුම් තැනින් තැන පැවතීම මත එහි කැණීම් දෙසැම්බර් 02 වැනිදාට කල් දමා තිබේ.

ඒ අතරේ ඉකුත් 23 වැනිදා මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ ධීවර ඇමැතිවරයාගේ ලේකම්වරයකු පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවෙසට ගොස් තමන් සැලසුම් කර ඇති කැණීම් කටයුත්තක් සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවත් නොවැම්බර් 25 වැනිදාට කලින් රහසිගතව එය කිරීමට සහාය වන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එහෙත් එම ඉල්ලීම ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන් දෙදෙනාගේ මෙම පැමිණීම සම්බන්ධයෙන් දින කිහිපයකට පසු මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට තොරතුරු ලැබී විමසන තෙක් පුදුකුඩිඉරිප්පු ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර නැත. ඒ පිළිබඳව මුලතිව් සහකාර පොලිස් අධිකාරි ලසන්ත විතාරණ යටතේ මේවනවිට විමර්ශනයක් ද ක්‍රියාත්මක වේ.

පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට එම පත්වීම ලැබී ඇත්තේද ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දගේ නිර්දේශයකට අනුව බවටද තොරතුරු අනාවරණය වේ.

අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු රත්‍රන් ගොඩගැනීමට යාම පිළිබඳව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඊයේ (30 වැනිදා) වාර්තාවක් ද යවා තිබේ. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන පුද්ගලයකු සමග ගොස් බලහත්කාරයෙන් ඉඩම් මැනීමකට හා එම ඉඩම් හිමි කතගේ නිවස පරීක්ෂා කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් ද පොලිස්පති නියමයෙන් ඊයේ (30 වැනිදා) පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

දිවුලපිටිය උල්වලහෙල, සියඹලාගහවත්තේ වූ තම ඉඩමට පැමිණ බලහත්කාරයෙන් ඉඩම මැනීමට උත්සාහ කළ බවට සමන්ති ජයකොඩි නමැති ඉඩම් හිමි කාන්තාව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය අරඹා ඇත.

තමාගේ නිවසට දෙවැනි වරටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් වෑන් රථයකින් හා යතුරුපැදියකින් ඉකුත් 27 වැනිදා පැමිණ සෝදිසි කර ගිය බවට මෙම කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන්ය. ඇය පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් තම ඉඩමට ඇතුළු වූ දර්ශන ද දිවුලපිටිය පොලිසියට ලබාදී ඇත.

තමාගේ ඉඩමට අසල්වැසියකු හොර ඔප්පු සකස් කර වෙන්දේසිකරුවකුට විකිණීමට උත්සහා කළ බවත් ඒ සම්බන්ධව මීගමුව පොලිස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළ බවත් ඇයගේ පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

ඒ අතරේ මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන සුගත් ජයසිංහ නමැති අය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමග නොවැම්බර් 11 වැනිදා පැමිණ තම ඉඩම බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ ගත් බවටද ඇය පැමිණිලි කර ඇත. එදිනම තම නිවෙසේ සී.සි.ටී.වී කැමරාවලටද ඔවුන් අලාභ හානි කළ බව වීඩියෝ සාක්ෂි සමග පෙන්වා දී ඇත.

පොලිස්පතිවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙම සිද්ධියට සම්බන්ධ වූ පිරිස ගැන සොයා විමර්ශනය කිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ. මීට අමතරව දිවුලපිටිය පොලිසිය ද පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16