AFC Banner
Empty Ad
Empty Ad

වාසනා පුතාට කතා කළා. එවිට මම බෙල්ලට එකක් ගැහුවා. වාසනා බිම වැටුණා. පුතාටත් පහරවල් කිහිපයක් ගැහුවා !

2021 සීතල දුරුතු මාසයේ පුන් පොහොය ගෙවී ගත වුයේ දින කිහිපයකි.

හරියටම නවම් මස 1 වෙනි දා හිමිදිරි පාන්දර ම හද කම්පා කරන පුවතකි. තරුණ කාන්තාවක් සහ ඇගේ පුතෙකු කපා කොටා නිවස තුළම කපා කොටා නිවස තුළම මරා දමා ඇති බව ඒ සෝචනීය පුවතයි.

අම්පාර දිස්ත්‍රීක්කයේ දමන පොලිස් බල ප්‍රදේශයේ අලහේන 12/1 දරන නිවසේ පදිංචිව සිටියේ බී. ජී. දිනේෂිකා ප්‍රියදර්ශනී (33) නැමැත්තිය සහ ඇයගේ එකම පුතු 13 හැවිදිරි ශ්‍රීමාල් සසින්ද්‍ර රූපසංහ යන පමණි.

නම දිනේෂිකා ප්‍රියදර්ශනී වුවත් ගම්වාසීන් හා හිතවතුන් ඇය ඇමතුවේ වාසනා යන නමිනි. දමන, තිබිරිගොල්ල ප්‍රදේශයේ තම දෙමාපියන් සමඟ හැදී වැඩුණු වාසනා පාසල් ගියේ අම්/මඩවල්ලන්ද විද්‍යාලයටය.

එහිදී අ.පො.ස (සාපෙළ) දක්වා අධ්‍යාපන ලද ඇය ඉන් ඉවත් වී අම්/මාන්තොට්ටම ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබළකු සමඟ පෙමින් වෙළී සිට 2007 වර්ෂයේ ඔහු සමඟ විවාහ වී ඇත. විවාහ වීමෙන් පසු දමන අලහේන ප්‍රදේශයේ නිවසක් මිලදී ගෙන පදිංචි වී ඇත.

2008 වර්ෂයේ කුරිරු වර්ගවාදි යුද්ධය උස්සන්නව පැවති අවදියයි. 2008 දෙසැම්බර් මාසය් දිනක ත්‍රස්තයන් හා පැවති සටනකදී රට වෙනුවෙන් වාසනාගේ සෙබළ සැමියා දිවි පිදුවේය.

ඒ වන විට තම එකම පුතුට වයස මාස 02 ගෙවුණා පමණි. තම දයාබර සැමියාගේ හදිසි වියෝවෙන් කම්පනයට පත්ව සිටි වාසනා තම එකම පුතු හදා වඩා ගෙන හුදකලාවම ජීවත් වන්නට විය. මිය ගිය තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් වන්දි මුදලක් හා වැටුපක් මාසිකව ලැබුණ නිසා කිසිදු අඟහිඟයකින් තොරව තම පුතුට සියලු දේ සපයා දෙමින් ඔහුව සතුටින් තබන්නට විය.

පුතුගේ පාසල් වයස එළැඹි කල ඔහුව අම්/මඩවල්ලන්ද විද්‍යාලයට ඇතුළත් කෙරිණි. මේ වන විට ඔහු මඩවල්ලන්ද විද්‍යාලයේ 8 වසර ඉගෙනුම ලබමින් සිටියේය. පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු වු ඔහු ශිෂ්‍ය නායකයෙක්ද විය.

සිය ස්වාමිපුරුෂයා අහිමිව වසර 12ක් පමණ හුදකලාවම ගෙවුණ තැන වාසනාගේත් පුතාගේත් මාරයා වාසනාගේ මුහුණු පොත හරහා ඔවුන්ගේ ජීවිතයට එඹුණේය. හුදකලාවම විසු වාසනා මුහුණු පොත හරහා තම විවේක කාලය ගෙවා දැමුවේය.

එයින් හඳුනා ගත් එක් මිතුරකු වුයේ තිස්සමහාරාම, කච්චේරිගම පදිංචිව සිටි බාල සොහොයුරියගේ පැතුම් සංජීව (32) නැමැති අවිවාහක පුද්ගලයෙකි. කලක් යුද සේවයේ නිරතව සිටි ඔහු ඉන් ඉවත් වී තම ගමේ ටයර් කඩයක සේවය කරමින් සිට ඇත.

මාස කිහිපයක් වාසනා සමඟ මුහුණු පොත හරහා චැට් කරමින් සුහද ඇසුරක් පවත්වා ඇත. එම කාලය තුළ දෙතුන් වතාවක් වාසනා හමුවීමටද පැමිණ රාත්‍රීය ගත කොට පිටව ගොස් තිබේ. මුහුණු පොත ඇසුර මාස 03 ක් පමණ ඉකුත් වූ විට මොහු අම්පාර ප්‍රදේශයට පැමිණ අම්පාර නගරයේ ටයර් කඩයක සේවයට එක්වී ඇත. දිවා කාලය සේවය කරන පැතුම් සේවයේ නිමවා රාත්‍රී කාලයේ වාසනාගේ නිවසට පැමිණ රාත්‍රිය ගත කොට පසුදා රැකියාවට යාමට පුරුදු විය.

එසේ මාසයක් පමණ ගත කළ ඔහු පසුව වාසනාගේ නිවසේම නතර විය. මෙහිදී වාසනා පැතුම්ට කොන්දේසි කිහිපයක් පනවන ලදී. ඒ ‘‘කසාද බඳින්න බැහැ- ළමයි හදන්න බැහැ“ යන්නයි. පැතුම්ට කසාද බැඳීමට අවශ්‍යතාව තිබුණත් වාසනාගේ අකමැත්ත නිසා පැතුම් නිහඬ විය. මෙසේ අනියම් ලෙස දීග කන්නට පටන්ගෙන කලක් ගත වෙද්දි පැතුම්ට වාසනාගේ වෙනසක් දැණුනි.

මුල් දින වල දැනුණු සමීප බව ටිකෙන් ටික අඩුවෙමින් තිබුණි. ඇය ඊට හේතු ලෙස දැක්වුයේ ‘‘පුතා පාඩම් කරනවා“ කියමිනි. සමහර දිනවල ඇය නිකරුණේ බලවත් සේ කෝප වී තමන් සමඟ රණ්ඩු සරුවල් කරන බවත්; එවන් සමහර දිනවල ඇය තමන්ට පහර දුන් බවත්; තමන් ඇයට ඇත්තට ම ආදරේ නිසා පෙරළා පහර නොදී ඉවසා ගෙන සිටි බවත් පොලිස් ප්‍රශ්න කිරීම් වලදි පැතුම් හෙළි කර ඇතග

සිද්ධිය වූ දින පැතුම්ගේ උපන් දිනය විය. ඒ වෙනුවෙන් ඔහු සැදෑ කාලයේ අල්ලපු ගෙදර නිවැසියන්ද ගෙන්වා සුළු සාදයක් පැවැත් විය. සාදය රාත්‍රී 11 ට පමණ නිමා වී අසල්වැසි නිවැසියන් පිටවී ගියහ. මත්පැනින් රත් වී සිටි පැතුම්ට වාසනාගේ පහස විඳීමට ඇවැසි විය.

ඒත් ඊට අකැමැති වූ වාසනා ඉන් කෝපයට පත් වී සුපුරුදු පරිදි රණ්ඩු කරන්නත්, බැණ වඳින්ටත් පටන් ගත්තාය. පුතා කිසිවක් නොදැන අල්ලපු කාමරයේ අඩ නින්දේ පසු විය. රණ්ඩුව නවතින්නේ නැත. රෑ 1.30 පමණ පැතුම් වාසනාගේ මවට දුරකථනයෙන් කතා කොට වාසනා තමන් රණ්ඩු කරන බවත් තමන්ට බැණ වදින බවත් පවසා ඇත. ඒ සමඟම වාසනා ද තම මවට කතා කොට පැතුම් බීමත්ව තමන්ට කරදර කරන බවත් හෙට පුතාව පාසල් යැවීමට නොහැකි වන බවත් පවසා ඇත.

ඒ වේලාවේ තමන් එන්නදැයි මව ඇසු විට “එපා අම්මා එන්න එපා. ඔහොමම නින්ද යාවි“ කියු බවත් ඒ වේලාවේ සැකයක් නොවූ නිසාත් පසුව කතා නොකළ නිසාත් තමන් නොගිය බවත් වාසනාගේ මව වන කේ. අනුලාවති ප්‍රකාශ කරයි.

”පාන්දර 3.30 පමණ මට බැණ වදිමින් වාසනා කුස්සියට ගියා. මමත් ගියා. මගේ ඉවසීම නැති වුණා. වටපිට බලන විට දැක්කේ පිහිය පමණයි. මම පිහිය රැගෙන එනවිට ඇය බේරෙන්න අත් ඔසවා කෑගැසුවා. ඒ එක්කම මම ඇයට පිහියෙන් පහර දුන්නා. ඒ එක්කම වාසනා පුතාට කතා කළා. එවිට මම බෙල්ලට එකක් ගැහුවා. වාසනා බිම වැටුණා. එවිට පුතත් ආවා. පුතාටත් පහරවල් කිහිපයක් ගැහුවා.”

යැයි පැතුම් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ට ප්‍රකාශ කර තිබුණි.

සියල්ල අවසන් කළ පැතුම් ඇඟ සෝදාගෙන පාන්දර 4.30 පමණ තම මොටර් සයිකලය තල්ලු කරගෙන මහ පාරට ගොස් පිම්මේ තිස්සමහාරාමටය පලා ගියේය. උදේ 7.00ට පමණ වාසනාගේ පුතා පාසල් යෑමට නොපැමිණි නිසා අල්ලපු ගෙදර කාන්තාව පැමිණ වාසනාට කතා කර පිළිතුරු නැති නිසා කුස්සිය පැත්තෙන් ඇතුළු වී බලන විට සියල්ල සිදු වී අවසන් වි ඇති අයුරු දැක ගත්තාය.

ආරංචිය ලද සැණින් දමන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ ඇතුළු පොලිස් කණ්ඩාමක් සිද්ධිය සිදු වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්විය. සියලු තොරතුරු එක්රැස් කරගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම තොරතුරු සියල්ල අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකට සැලකර සිටියේය. ඔහුගෙන් වැඩි දුර උපදෙස් ලබා ගත්තේය.

‘මම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ උප‍දෙස් පරිදි පරීක්ෂණ ආර්ම්භ කළා. පළමුවෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ ඉන්න අපේ පෞද්ගලික ඔත්තු කරුවන් දැනුම්වත් කරලා විස්තර ලබා දුන්නා. ඒ අනුව එදිනම සවස ඔවුන් මට දැනුම් දුන්නා ඥාති නිවසක සිටින බවට. පසුව එදින රාත්‍රි 11.00ට පමණ මමත් තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමඟ තිස්සමහාරාම ප්‍රදේශයට ගොස් පාන්දර.4.00 පමණ සැක කරු අත්අඩංගුවට ගෙන ‘දමන‘ පොලිසියට රැගෙන අවා.

මෙම මෙහෙයුම සඳහා දමන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත අමරසිංහ සමඟ පො.සැ. 36937 උපාලි – පො.සැ 19538 සුමනසේකර – පො.කො. 70435 ලලිත්- 84679, පතිරාජ -82461 බණ්ඩාර පො.කො. රියදුරු බණ්ඩාර යන අයවලුන් සහභාගී වූහ.

අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර අතිරේක මහේස්ත්‍රාත් ප්‍රදිප් ජයසිංහ වෙත ඉදිරිපත් කර වැඩිදුර පරීක්ෂණ සඳහා රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන ඇති අතර අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි දුල්සිරි අප්පුහාමි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇත.

රවීන්ද්‍ර මැදගෙදර – අම්පාර සමුහ

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “සිළුමිණ” අතිරේකයෙන්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?