රට තුළ මේ වන විට උද්ගතව ඇති ගැටලුවවලට හේතුව විදේශ විනිමය අර්බුදය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මාර්තු 16) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.
තමන් ගන්නා ක්‍රියාමාර්ගවල වගවීම තමන් භාර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී පැවසීය. එමෙන් ම මහජනතාව අත්විඳින කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සෙවීමට තමන් අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, රට තුළ පවතින අර්බුදය කිසිසේත් ම තමන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවන බව ය.
“එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය, අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දෙන්නයි.”
එමෙන් ම ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමන් කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට තමන් තීරණය කළ බව ය.
“මේ හිඟය පියවා ගැනීමත්, අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි.
මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්.
ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා.”
ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තමන් දේශපාලනයට පැමිණයේ ජනතාවගේ ආරාධනයෙන් බව ය.
“මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා.”
ජනාධිපතිවරයා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව මෙතැනින් බලන්න…














