ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සහ ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් ඊයේ (07) උදෑසන කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
ඒ පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට චෝදනා කරමිනි.
එහිදී සමගි ජන බලවේග කාර්යාලයේ සිටි පිරිසගෙන් ද ආණ්ඩු පාක්ෂික විරෝධතාකරුවන්ට විරෝධයක් එල්ල විය.
පසුව විරෝධතාකරුවන් විසිර ගියේ පොලීසියද එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුවය.
එහිදි අදහස් දැක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා,
” මේ ගොල්ලෝ කිව්වා නම් මේ රට අවුරුදු 5ක් තිස්සේ හොඳට හැදුවා කියලා, හොඳට හදපු රටේ විස්තර ටික ගන්න අපි ආවේ. හොඳට හදපු රටේ ආර්ථික තොරතුරු ගන්න ආවේ.
සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් අපි අහනවා ඔයා ගෙවල් කීයක් හැදුවාද මේ අවුරුදු 5ට කියලා. ඒ වගේම අපි හර්ෂ ද සිල්වාගෙන් අහනවා වොක්ස්වැගන් ෆැක්ට්‍රිය කොහෙද තියෙන්නේ කියලා ? කර්මාන්ත කීයක් හැදුවාද? රස්සා කීයක් දුන්නාද? පාරවල් කීයක් හැදුවාද?
ආර්ථික වර්ධන වේගය කීයද?රටේ ඒ කාළේ ගත්ත ණයවලට මොනවාද කළේ? අපිට පේන්න රටේ කරපු කිසිදු භෞතික දෙයක් නෑ. විදුලි බලාගාර කීයක් හැදුවාද? 130ට තිබුණ ඩොලරය 200ට ගෙනාවේ කොහොමද? මිනිස්සුන්ට බොරු කියලා ජන ජීවිතය අඩාළ කරනවා අපි ඒක ප්‍රශ්න කරන්නයි ආවේ”
එහිදි එම විරෝධතාවට පැමිණි පිරිස තම කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේය.
එහිදි අදහස් දැක්වු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පැවසුවේ මෙම ක්‍රියාව හෙළා දකින බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙවැනි පහළ තත්ත්වයට ඇදවැටීම සම්බන්ධයෙන් කණගාටු වන බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.