වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ.
තරගකාරී ලෙස වී මිලදී ගෙන රජය සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක වියයුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අද (04) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලයට මෙට්‍රික් ටොන් 315,000ක සංචිතයක් පවත්වාගෙන යාමේ ධාරිතාවක් තිබේ.
එය ලක්ෂ 04ක දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ගතවූ දෙවසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කළ ගබඩා සංඛ්‍යාව 315කි.
ඉතිරිව ඇති ගබඩා 35 ද කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
වී මිලදී ගැනීම කඩිනම් කිරීම සඳහා සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් ලෙස උපාධිධාරීන් 40 දෙනෙකු සහ ගබඩා කටයුතු සඳහා බහුකාර්ය නිලධාරීන් 200 දෙනෙකු වහාම අනියුක්ත කිරීමට තීරණය කෙරිණ.
වී ගබඩා ආරක්ෂාව සඳහා අලි වැට ඉදි කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.













