අඛණ්ඩව තෙවන දිනටත් අද දිනයේ පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවා කාලයේ පැය 05ක් සහ රාත්රී කාලයේ පැය දෙක හමාරක් ලෙස දිවයින පුරා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බවය.
ඒ අනුව පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා අතර කාලය තුළ පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර පස්වරු 6 ත් රාත්රී 11ත් අතර කාලය තුළ පැය දෙක හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතය.
ඉන්ධන ගැටලුව හේතුවෙන් තාප බලාගාර මගින් විදුලි උත්පාදනයට බාධා එල්ල වීම හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර එය පසුගිය 2 වැනිදා සිට පැය 07 හමාරක කාලයක් දක්වා ඉහළ දමනු ලැබීය.
කෙසේවෙතත් බලධාරීන් සඳහන් කර ඇත්තේ ලබන පස්වන දින සිට කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුම් ලබාදීමට සැලසුම් කර ඇති බවය.