දීර්ඝ කාලීන ණය ක්‍රමයක් යටතේ නයිජීරියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමට අමාත්‍ය උදය ගම්මන්පිල උත්සාහ දරණ බව වාර්තා වනවා.
මේ තොරතුරු හෙළි වූයේ, ඛනිජ තෙල් අමාත්‍යවරයා ඊයේ (20) මේ සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේ තබා තිබූ සටහනක් ඔස්සේයි.
එම සටහනට අනුව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහකොමසාරිස් අහ්මඩ් සූලේ සමඟ මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා වටයක් පවත්වා තිබෙනවා.
නයිජීරියානු මහ කොමසාරිස්වරයා සමග පැවති හමුවේ ඡායාරූප දෙකක් ද සිය ට්විටර් පණිවුඩයට අමුණා ඇති අමාත්‍ය ගම්මන්පිල එම සාකච්ඡාවේ දී ඇති වූ එකඟතාවන් පිළිබඳව කිසිවක් සඳහන් කර නැහැ.
කෙසේ වෙතත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මීට පෙර අවස්ථා කිහිපයකදී කටාර් රාජ්‍යයෙන්, බහරේනයෙන් සහ ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමයක් යටතේත්, මෙරටට අවශ්‍ය කරන ඛනිජ තෙල් ආනයනය සඳහා ආධාර ලබා ගැනීමට උත්සාහ දැරුවා.





