AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුර රැඳවියන් ගැන අධිකරණය දුන් නියෝගය

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ තර්ජන වලට ලක් වූවා යැයි කියන අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් අට දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවරගන්නා ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා .

ඒ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනූරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී පිස්තෝලයක් රැදවියකුගේ හිසට තබා තර්ජනය කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශයට පත් කරන ලෙසට ඉල්ලා එම බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් 8 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැදවු අවස්ථාවේදීයි.

මෙම රැදවියන් ට ප්‍රවේශ වීමට ඔවුන්ගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළා.

මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර යළි එය ඔක්තෝබර් මස 21 දා සලකා බැලීමට නියමිතයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරය අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා, අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි සහ නීතිපතිවරයා නම් කර ඇත .

සැප්තැම්බර් මස 12 වන දා සවස 6.05 ට පමණ සිය ආරක්ෂකයින් සමඟම බන්ධනාගාරයට පැමිණි වගඋත්තරකාර ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයා තමන්ව දණ ගස්වා අමානුෂික ලෙස බැණ වැදුණු බව පෙත්සම්කරුවන් චෝදනා කර සිටියි .

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා සිටින සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා විසින් තමාට ලබාදී ඇති බව අමාත්‍ය රත්වත්තේ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කළේ යැයි පවසන පෙත්සම්කරුවන් අනතුරුව සිය පිස්තෝලය ගෙන පූපාලසිංහම් සූරියපාලන් නමැති පෙත්සම්කරුගේ හිසට තබා තර්ජනය කළ බව පවසා සිටියි .

මේ සිද්ධියට අදාළව සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසටත් තමන්ව යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?