වී සහ සහල් සඳහා පනවා ඇති පාලන මිලට එරෙහි විරෝධතා ඇතැම් පුද්ගලයින්ගේ මෙහෙයවීම මත සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
වී සඳහා උද්ඝෝෂණ සිදුකරන්නෙත් හාල් මාෆියාව ඇත්තෙත් පොළොන්නරුවේ පමණක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“මේ වෙනකොට ගොවීන් වී සම්බන්ධයෙන් උද්ඝෝෂණ පවත්වනවා. මේ සියලු උද්ඝෝෂණ පවත්වන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ පමණයි. ඒ වගේම මේ රටේ හාල් මාෆියාව තියෙන්නෙත් පොළොන්නරුවේ විතරයි. ඒ නිසා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න ගොවීන් පමණක් උපයෝගි කරගනිමින් උද්ඝෝෂණ පවත්වනවා. මේ සඳහා මුදල් දෙන්නේ කවුද කියලා අපි දන්නවා. ගොවීන් ට මිලක් එන එක ගැන අපිට කිසි ගැටලුවක් නෑ. අපි කියලා තියෙන්නේ වී සඳහා පාලන මිල පමණයි. එතනින් එහාට වී මිල දී ගැනීම පිළිබඳ අපිට ප්‍රශ්නයක් නෑ.”
මේ අතර ලියාපදිංචි නොකළ වී ගබඩා පරීක්ෂා කිරීම තවදුරටත් සිදුකෙරේ.
අනුරාධපුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව නොච්චියාගම සහ ගල්කිරියාගම ප්‍රදේශවල ලියාපදිංචි නොකළ වී ගබඩා දෙකක් වැටලීමට ඊයේ (20) පස්වරුවේ කටයුතු කළේය.
එහිදී නොච්චියාගම ප්‍රදේශයේ වී ගබඩාවක තිබී වී කිලෝ ග්‍රෑම් 40,000ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය භාරයට ගෙන තිබේ.
එමෙන්ම ගල්කිරියාගම ප්‍රදේශයේ වී ගබඩාවක තිබූ වී කිලෝ ග්‍රෑම් 250,000ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට සිය භාරයට ගත් අතර පසුව එම වී තොගය ගල්කිරියාගම රජයේ වී ගබඩාව වෙත රැගෙන යනු ලැබීය.
එම වී සඳහා රජයේ සහතික මිල යටතේ මුදල් ගෙවීමට නියමිතය.
මේ අතර රජය වී සහ සහල් සඳහා පනවා ඇති පාලන මිල හේතුවෙන් තමන්ට වී අලෙවිකරගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවියෝ පවසති.














