Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පුත්තලම නගරාධිපතිගෙන් පහර කෑ තරුණයා රෝහලේදීම පොලිස් අත්අඩංගුවට

පුත්තලම නගරාධිපතිවරයා විසින් සිදුකරන ලද පහර දීමකින් තුවාල ලැබූ බව කියන තරුණයෙක් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

මූලික රෝහලේ නේවාසිකව මෙලෙස ප්‍රතිකාර ලබන්නේ පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි උදාර පුෂ්පික නැමැති 29 හැවිරිදි තරුණයෙක්.

ඊයේ (27) පස්වරුවේ පුත්තලම – කොළඹ මාර්ගයේ තිල්අඩිය ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පහර කෑමට ලක්වූ තරුණයා තිල්අඩිය ප්‍රදේශයේ මාර්ගය අසල පළතුරු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අයෙක් වන අතර, එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පුත්තලම නගර සභාවේ නිලධාරීන් විසින් පසුගිය දිනක ඔහුට අවවාද කර තිබෙනවා.

ඒ, අනුව එම තරුණයා තමන් විසින් ඉදිකර තිබූ තාවකාලික වෙළදසැළ ඉවත්කර මාර්ගය අයිනේ මේසයක් තබාගෙන පළතුරු අලෙවි කරමින් සිට ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඊයේ (27) පස්වරුවේ එම ස්ථානයෙට පැමිණි පුත්තලම නගරාධිපතිවරයා පවසා ඇත්තේ එම මේසය ද වහාම ඉවත් කර ගන්නා ලෙසයි.

ඒ, ආසන්නයේම තවත් පිරිසක් වෙළදාම් කරන බවත්, ඔවුන් ඉවත් නොකරන්නේ මන්ද කියා විමසූ අවස්ථාවේ නගරාධිපතාවරයා කැබ් රථය තුළ සිට තමන්ට පහර දුන් බවයි රෝහල් ගත කර සිටින තරුණයා පවසන්නේ.

එම අවස්ථාවේ දී පහර කෑමට ලක්වූ තරුණයා ද නගරාධිපතිවරයා පැමිණි වාහනයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, තම නිල රථයට පුද්ගලයෙකු පහර දුන් බව පවසමින් පුත්තලම නගරාධිපති ඉම්ෂාන් අහමඩ් පුත්තලම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අදාළ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය රෝහල් ගතව ප්‍රතිකාර
ලබමින් සිටින තරුණයාව රෝහලේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අනුව ඔහු මේවන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.