යාපනයේ අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2027 පෙබරවාරි මස 12 වැනිදා තෙක් කල්තැබීමට යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් නියෝග කළා.
සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (27) වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබාදුන් අතර ඉදිරි දිනයේදී ද මෙම අධිකරණයේ පෙනි සිටිමට නියෝග කළා.
ගෝඨාභය රාජපක්ෂ ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝග කර තිබුණා.
ඒ අනුව එදින සාක්ෂි ලබා දීමෙන් අනතුරුව අද ( 27) දිනයේ දී වැඩිදුර සාක්ෂි විභාගය සිදු කෙරුණා.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේ දී සාක්ෂි ලබා දෙනු ලැබු අතර යාපනය අධිකරණයේ සිට සාක්ෂි මෙහෙයවනු ලැබුවා.
සිද්ධියට අදාලව සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියේ මෙම සිදුවීම 2009 වර්ෂයේ සිදුව ඇති බැවින් දීර්ඝ කාලීන සිද්ධියක් වීම නිසා ඒ සම්බන්ධයෙන් මතකයක් නොමැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවීම යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ සිදු කළ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී සාක්ෂි ලබා දුන්නා.
නීතීඥ නුවන් බෝපගේ :-
” සාක්ෂිකරු පසුගිය අවස්ථාවේදි සාක්ෂි ලබා දීමේ දී කීත් නොයාර් පැහැර ගැනීම ගැන මම ප්‍රශ්න කළා. හිටපු ආරක්ෂක ලේකම් ලෙස දන්නවානේ. අතුරුදන් වීම, පැහැර ගැනීම්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , පොලිසිය වැනි ආයතන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා කියලා.
සාක්ෂිකරු ( හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ) : –
“පරීක්ෂණ පවත්වනවා ස්වාමීනි , ආරක්ෂක ලේකම් හැටියට මගේ වගකීම එම සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලා ජාතික ආරක්ෂාව සහ ඒ සම්බන්ධව ප්‍රතිපත්තිමය තිරණ ගැනීමයි ආරක්ෂක ලේකම්ගේ වගකීම වන්නේ. විවිධ පැහැරගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ඒ ඒ පොලිස් නිලධාරීන් සහ සිද්ධියට අදාල ප්‍රධාන නිලධාරීන්ගේ වගකීම මිස මගේ වගකීම නොවෙයි. එදා මගේ වගකීම වුණේ විවිධ ආයතනවලට හමුදාපතිවරුන් පත් කිරීම සහ අවශ්‍ය පිරිස් බලය යෙදවීම ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් වශයෙන් මම ඒ දේ කළේ.
නීතිඥවරයා :-
” ඒ වගකීම ගැන නොවේ මම ප්‍රශ්න කළේ සාමාන්‍යයෙන් රටේ පැහැර ගැනීමක් අතුරුදහන්වීමක් වුණාම ඒ ගැන විමර්ශනය කරන ආයතන තියෙනවද?
සාක්ෂිකරු:-
” ස්වාමීනි ඒක තමයි කිව්වේ ඒවා ගැන පරීක්ෂණ කරන්නේ පොලිසිය , බුද්ධි අංශය වැනි ආයතන”
නීතිඥවරයා:-
මම ඔබට ලබා දුන්නා , මාධ්‍යවේදී කීත් නෙයාර් පැහැර ගැනීමට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවලට අදාල වාර්තාවක් . එම වාර්තාවට අනුව කීත් නෙයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් හෙන්ද විතාරණට දුරකථන ඇමතුමෙන් දැනුම් දුන්නා නේද ?
සාක්ෂිකරු :-
“මේ වාර්තාව ගැන මට අවබෝධයක් නැහැ.මේ වගේ අවස්ථාවක තොරතුරක් ලැබුනොත් බුද්ධි ප්‍රධානියාට සහ පොලිස්පතිට දැනුම් දීමක් කරනවා.”
නීතිඥවරයා:-
” බන්දුල පද්ම කුමාර කියන මාධ්‍යවේදියා දන්නවද?
නීතිඥවරයා :-
” කීත් නෙයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු දොම්පෙ පිහිටි යම් රහසිගත නිවසක තබා නිදහස් කළ බව ඔබ දන්නවාද?
සාක්ෂිකරු:-
” නැහැ ඒ බව මම දන්නේ නැහැ. මොකද එම වාර්තාව පසුව ලැබිලා තියෙන්නේ.”
නීතිඥවරයා :-
” ඔබ ආරක්ෂක ලේකම් හැටියට ප්‍රතිපත්ති තීරණ ගැනීමට මැදිහත් වෙනවා කිව්වනේ.”
සාක්ෂිකරු:-
“ඔව්”
නීතිඥවරයා :-
“විසි තුන ලේඛනයට අනුව සාක්ෂිකරු ප්‍රකාශ කරලා තියෙනවා . මෙවැනි අතුරුදහන් වීමේ සිදුවීම්වලදී මැදිහත් වුණා කියලා.”
සාක්ෂිකරු:-
“ස්වාමීනි මැදිහක් වීමත් නොවේ සෘජුවම දැනුම් දුන්නොත් ඒ බවට මම ක්‍රියා කරන්න ඕනේ. මගේ ක්‍රියාව තමා බුද්ධි නිලධාරීන් පොලිස්පතිව දැනුම් දෙන එක. නැතුව මගේ මැදිහත්වීමක් නෙවෙයි.”
නීතිඥවරයා:-
“මම යෝජනා කරනවා. එම ලේඛනය අනුව සාමාන්‍ය මැදිහත්වීමක් නෙවෙයි සාක්ෂිකරු දැනුවත්භාවයකින් යුතු මැදිහත්වීමක් සිදු කර තිබෙනවා. දැනගෙන ඉදලා ඔහුව නිදහස් කිරීමට අණදීමක් සිදු කර තිබෙන බවට.”
සාක්ෂිකරු:-
“සම්පූර්ණ වැරදි ස්වාමීනි මම එය පිළිගන්නේ නැහැ යෝජනාවක් මිස එය සත්‍යයක් නොවෙයි ඒ මම පිළිගන්නේ නැහැ.”
නීතිඥවරයා :-
“මේ වගේම 2009/ජුලි/ 1 වන දින තවත් මාධ්‍යවේදියෙක් වන පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදියා පැහැර ගත්තා කියලා මතකද?”
සාක්ෂිකරු:-
“ඒක අවුරුදු ගණනාවකට කලින් වුණ දෙයක්. ඒ නිසා මට මතක නැහැ.”
නීතිඥවරයා:-
“දිනයද සිදුවීම ද මතක නැහැ කියලා කියන්නේ නැත්නම් පෝද්දල ජයන්ත කියන කෙනාද අදාළ සිද්ධියද”
සාක්ෂිකරු :-
“දිනය හෝ සිද්ධිය මට මතක නෑ. සම්පූර්ණ සිද්ධියත් මට මතක නෑ මම දන්නේ නෑ. මේවා හුඟක් කාලයකට කලින් වුණේ. මට අවබෝධයක් නෑ. මතක නැහැ “
එම අවස්ථාවේදී නීතිඥවරයා නැවත වතාවත් එම ප්රශ්නය සාක්ෂිකරුගෙන් විමසා සිටියා.
එහි දී ද සාක්ෂිකරු පවසා සිටියේ මම දන්නේ නැහැ යනුවෙනි.
නීතීඥවරයා :-
“බන්දුල පද්ම කුමාර කියලා මාධ්‍යවේදියෙක් දන්නවාද?”
සාක්ෂිකරු: –
” ඔව් දන්නවා”
නීතීඥවරයා:-
” බන්දුල පද්ම කුමාර සහ පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීන් 2009 යම්කිසි දිනක ආරක්ෂක අමාත්‍යංශයට ඇවිත් ඔබව හමුවුණා කියලා ඔබට මතකද?
සාක්ෂිකරු:-
“මට එහෙම සිද්ධියක් මතක නැහැ.2009 කියන්නේ හුඟක් කල් ආරක්ෂක ලේකම් හමුවෙන්න බොහෝ අය එනවා. ඉතින් මේ දෙදෙනා අවවාද කියලා මට මතක නැහැ .”
නීතිඥවරයා:-
“2009 ජුලි 1 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පෝද්දල ජයන්ත නමැත්තා සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයට කරුණු වාර්තා වුණාද නැද්ද ද ?
සාක්ෂිකරු :-
“ස්වාමීනි සෘජුවම එහෙම චෝදනාවක් සම්බන්ධයෙන් මම දැනුවත් කමක් නැහැ. එහෙම වුණා නම් අදාළ නිලධාරීන්ට දැනුම් දෙන්න ඇති.”
නීතිඥවරයා:-
“2015 නොවැම්බර් 08 වන දින ” සත්හඩ” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දුන්නානේද? ඔබගේ ඡායාරූපයක් සමග පලවෙලා තියෙනවා.
සාක්ෂිකරු:-
“ස්වාමීනි පත්තරේ නම් තියෙනවා. මට ඒක පිළිගන්න බැහැ. ඒක ගොඩක් පරණ එකක්. අනික කොලයක් විතරයි.
මට ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ.”
නීතිඥවරයා:-
“සාක්ෂිකරු දන්නවාද කුමාර් ගුණරත්න පැහැරගෙන අතුරුදහන් වෙලා සිටියදී ඕස්ට්රේලියාලු තානාතිපති කාර්යාලය මැදිහත්වීමෙන් ඔහු නිදහස් කර ගත් බව මතකද?
සාක්ෂිකරු:-
“ස්වාමීනි එහෙම සිද්ධියක් මට මතක නැහැ.”
නීතිඥවරයා:-
“එම පැහැර ගැනීම මතක නැහැ කියලා ඔබ කියන්නේ.”
සාක්ෂිකරු:-
“එම පැහැර ගැනීම සහ ඕස්ට්රේලියාලු තානාතිපති කාර්යාලයෙන් මැදිහත්වීමෙන් නිදහස් කළා කියලා මම දන්නේ නෑ මට මතක නෑ.”
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂිකරු විසින් මාධ්‍යවේදයකු සමග එම පුවත්පත් වාර්තාවට අදාළව කරන ලද හඬ පටය ඇසීමට සැලැස්සුවද එය පැහැදිලි නොමැති බව සාක්ෂිකරු දන්වා සිටියේය.
එම අවස්ථාවේදී එම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකට අදාළව හඩ පටය කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂිකරුට ඇසීමට අවස්ථාව ලබා දුන්නේය.
ඉන් අනතුරුව නැවත සාක්ෂි ඇසීම ආරම්භ කළේය
නීතිඥවරයා:-
මෙම හඬ පටය ඔබගේ කියලා පිළිගන්නවද?
සාක්ෂිකරු:-
මම දන්නේ නැහැ. මට මේක වැඩිය පැහැදිලිත් නැහැ. මගේම එකක්ද කියලත් මට වැඩිය අවබෝධයක් නැහැ. ඒ හින්දා මට මේක විශ්වාස කරන්න බැහැ.
නීතිඥවරයා: –
එම ඉදිරිපත් කරන ලද හඩ පටයේ සදහන් වෙලා තිබෙනවා. ඔබතුමාට පුළුවන් වුණා හැංගිලා හිටපු ගුණරත්න හොයලා අත්අඩංගුවට ගන්න ඇයි එහෙම කළේ කියලා.
සාක්ෂිකරු:-
මට මතක නෑ. අනික මම දන්නෙ නෑ අත්අඩංගුවට ගන්නේ කියලා ඉස්සෙල්ලා කිව්වා පැහැරගෙන කියලා මං දන්නෙ නෑ ඇයි එහෙම කියන්නේ කියලා. අත්අඩංගුවට ගැනීමක් ගැන මට මතක නෑ.
නීතිඥවරයා :-
“එම හඬ පටයේ මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට සාක්ෂිකරු මෙලෙස පිළිතුරු ලබාදීලා තිබෙනවා. ඔව් අපිට වාසනාවක් තිබුණා. ඒකට අපිට හොඳ පිළිතුරක් ලැබෙන්න ඕනෙ හොයන්න” යනුවෙන් එහි සඳහන් වෙලා තිබෙනවා.
” එම හඬ පඨයේම සඳහන් වෙලා තිබෙනවා . මේ කුමාර ගුණරත්න නමැත්තා අත්අඩංගුවට ගැනීමට ජනතා විමුක්ති පෙරමුණෙන්ද යම් තොරතුරු ලැබිලා තිබෙන බව සාක්ෂිකරු දන්වලා තියෙනවා.”
” තවද එම හඬ පටයට අනුව එම අවස්ථාවේදී මාධ්‍යවේදීයා අහපු ප්‍රශ්නයට සාක්ෂිකරු මෙලෙස පිළිතුරු දීලා තියෙනවා. එම කරුණ මම 26 ලේඛනයට අනුව මෙලෙස දක්වනවා. දැන් පටන් අනුර කුමාර හරියටම කියනවා අරහේ ඉන්නවා මෙහෙ ඉන්නවා කියලා පින්තූරත් ගත්තා කියලා. අනුර කුමාර කියනවා.
සාක්ෂිකරු: –
“මට ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව දෙයක් කියන්නේ මම දන්නේ නැහැ.
ස්වාමීනී මං මුලින් සඳහන් කළ පරිදි මෙම පුවත්පත සඳහා හඬ පටය මගේම දෙයක් කියලා මට පිළිගන්න බැහැ මොකද සත්‍ය පුවත්පත් වාර්තාවක්ද කියලා මම දන්නේ නැහැ”
අද (27) අධිකරණයේ සාක්ෂි ලබාදීම අවසන් වූ අතර නැවත 2027 පෙබරවාරි 12 වැනි දින වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම කරනු ලැබුවා.
එදිනට සාක්ෂිකරුට අධිකරණය පෙනී සිටින ලෙසටද නියෝග කළා.










