Update – පහකට දිවි අහිමි වූ රඹෑවේ බස් අනතුරේ තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

මහනුවර – යාපනය ඒ – 09 මාර්ගයේ රඹෑව, වැලිඔය හන්දිය ආසන්නයේ දී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අද (10) පෙරවරුවේ සිදු වූ අනතුරින් තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ අනතුරින් තුවාල ලැබුවන් 70 දෙනෙකු පමණ මේ වනවිට අනුරාධපුර සහ මැදවච්චිය රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.

මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනෙක් ජීවිතක්ෂය පත් වූ අතර, එලෙස මියගිය පස්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටිනවා.

මෘත ශරීර රඹෑව රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වව්නියාව දෙස සිට රඹෑව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් එම දිශාවට ධවානය වූ පුද්ගලික බස් රථයකට ඉස්සර කර යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

මේ අතර පොලිසිය සඳහන් කළේ පැවති වැසි සහිත කාලගුණය සහ බස්රථවල අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බව මේ වනවිට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.