පාකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය පසුගිය වසර 10 තුළ දෙගුණයකට ආසන්න වී ඇති බව ලෝක බැංකුවේ නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.
ලෝක බැංකුවේ 2026 ජාත්‍යන්තර ණය වාර්තාවට අනුව, 2015 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 68.7ක්ව පැවති පාකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය, 2025 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 135.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය පෙර වසරට සාපේක්ෂව සියයට 4ක පමණ වැඩිවීමක්.
2024 වසර අවසානයේදී එරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 129.9ක් ලෙස වාර්තා වුණා.
මෙම සමස්ත ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 107.08ක් රජයේ සහ රජයේ ඇපකර මත ලබාගත් ණය වන අතර, රජයේ ඇපකර නොමැතිව පෞද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17.58ක්.
කෙටිකාලීන විදේශ ණය තවත් ඩොලර් බිලියන 10.45ක් ලෙස වාර්තා වී තිබෙනවා.
රජයේ සහ රජයේ ඇපකර මත ලබාගත් ණය අතරින් වැඩිම කොටසක් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති අතර, එම ප්‍රමාණය ඩොලර් බිලියන 56.83ක්. ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42.43ක්.
පාකිස්තානයේ විශාලතම තනි රටක ණය හිමියා ලෙස චීනය තවදුරටත් පසුවනවා. චීනයට පමණක් පාකිස්තානය ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 22.4ක් පමණ වනවා.
එමෙන්ම ලෝක බැංකුවට ඩොලර් බිලියන 19.2ක් සහ ආසියානු සංවර්ධන බැංකුවට ඩොලර් බිලියන 16.83ක් පාකිස්තානය විසින් ගෙවිය යුතු බවද වාර්තාවේ සඳහන්.
2025 වසරේදී පාකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය දළ ජාතික ආදායමෙන් සියයට 34ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, මැදපෙරදිග, උතුරු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය ඇතුළත් කලාපයේ දළ ජාතික ආදායමට සාපේක්ෂව විදේශ ණය අනුපාතයද සියයට 26.7 සිට සියයට 29.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලෝක බැංකුවේ කලාපීය වර්ගීකරණ අතරින් වසරක් තුළ විදේශ ණය අනුපාතයේ විශාලතම ඉහළ යාම වාර්තා වී ඇත්තේ මෙම කලාපයෙන් බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
