ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ චීනයේ යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා සහ යුන්නාන් ප්‍රාන්ත විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව සහ ව්‍යාපාරික හමුව” අද (23) දින කොළඹ Cinnamon Life පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණා.

චීන යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලී චාඕවීගේ (Mr. Li Chaowei) ප්‍රධානත්වයෙන් යුත් නිල දූත පිරිසක් මෙන්ම එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියා.

මෙම විශේෂ නිල උත්සවය වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා වැඩබලන අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ අතිගරු තානාපති වෙයි හුවාෂියෑන් (H.E. Wei Huaxiang)ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී නිල සංචාරයක් සඳහා විදේශගතව සිටින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සූම් (virtual) තාක්ෂණය ඔස්සේ සමුළුව අමතමින්, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර චීන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා වන අපනයන ධාරිතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා.

සමුළුවේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව සහ යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලී චාඕවී විසින් සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබුවා.

“Three Free and Three Facilitations” යන වෙළෙඳ රාමුව යටතේ අත්සන් තැබුණු මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ට යුන්නාන් ප්‍රාන්තය හරහා චීන වෙළෙඳපොළට ඇතුළු වීම සඳහා නොමිලේ ගබඩා පහසුකම් (Warehousing), නොමිලේ ස්ථිර ප්‍රදර්ශන කුටි, මාර්ගගත (Online) වෙළෙඳපොළ ප්‍රවේශය මෙන්ම රේගු නිෂ්කාශන සහ ප්‍රවාහන පහසුකම් ඇතුළු පැකේජයක් හිමිවේ. මෙමඟින් අපනයන ආශ්‍රිත පිරිවැය විශාල ලෙස අඩු කරගැනීමට ශ්‍රී ලංකාවේ සමාගම්වලට අවස්ථාව සැලසෙනවා.

මීට අමතරව, 2027 වසරේ පැවැත්වීමට නියමිත 11 වන චීන – දකුණු ආසියානු එක්ස්පෝ (China – South Asia Expo) ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකීය සමාගම්වල සහභාගිත්වය තහවුරු කරමින් වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චරිත යට්ටෝගොඩ සහ ප්‍රදර්ශන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලී මින්ග්යු (Mr. Li Mingyu) විසින් එකඟතා ලිපියකට (LOI) අත්සන් තැබුවා.

මෙමඟින් ලංකාවේ ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍ර වන ලංකා තේ, ආහාර හා පාන වර්ග, කුළුබඩු, පොල් නිෂ්පාදන, මුහුදු ආහාර, මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම අත්කම් නිර්මාණ සඳහා චීන වෙළෙඳපොළ තුළ මහා පරිමාණ ප්‍රවර්ධනයක් ලබා ගැනීමට මඟ පෑදෙනු තිබෙනවා.

මෙම සමුළුවේ ප්‍රශ්නෝත්තර සැසියේදී පැහැදිලි කෙරුණේ, මෙම නව වෙළෙඳ සහන රාමුව වසන්ත සමරසිංහ අමාත්‍යවරයා චීන පාර්ශවය සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙරට අපනයනකරුවන් උදෙසාම වෙන්වූවක් බවයි.

අනතුරුව වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධ්‍යක්ෂිකා නාලිකා කොඩිකාර මහත්මිය විසින් චීන වෙළෙඳපොළේ පවතින අවස්ථා පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්වූ අතර, ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ මණ්ඩල, නිෂ්පාදන සංගම් නියෝජනය කළ දේශීය ව්‍යවසායකයින් සහ පැමිණි චීන ව්‍යාපාරික දූත පිරිස අතර සාර්ථක ද්විපාර්ශ්වික ව්‍යාපාරික සාකච්ඡා (B2B Networking) පවත්වමින් සමුළුව සාර්ථකව නිමාවට පත් වුණා.