සිංදු කියන්න ලයිසන් දෙන වැඩේ තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් නැගූ චෝදනා සහ විවේචන පදනම් කරගනිමින් තාවකාලිකව සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, 2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සිය වාර්ෂික මහා සභා රැස්වීම දක්වා සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් මෙලෙස තාවකාලිකව අත්හිටුවන බවයි.

පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන්ගෙන් ලැබුණු අදහස් සහ ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත බවයි අදාළ නිවේදනය මඟින් ඒ සංගමය පවසා ඇත්තේ.

මෙම තාවකාලික අත්හිටුවීම ACPOSL හි අයිතිවාසිකම්, පිළියම් සහ නීතිමය තත්ත්වය සඳහා අගතියක් නොවන බව අවංකවම ප්‍රකාශ කරන බවත් එහි දැක්වෙනවා.

එමෙන්ම සිදුවූ යම් අපහසුතාවයක් වේ නම් ඒ පිළිබඳව කණගාටුව පළකරන ACPOSL සංගමය, ජනමාධ්‍ය හමු අතරතුර සිදුවූ ප්‍රකාශයන්ගෙන් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ට යම් සිත් රිදවීමක් හෝ අපහසුතාවක් සිදුවූයේ නම් ඒ වෙනුවෙන් ද සිය කණගාටුව ප්‍රකාශ කරන බවයි පවසන්නේ.

යෝජනා කළ බලපත්‍ර රාමුව සහ ඊට අදාළ ගාස්තු සංශෝධනය කිරීම හා සමාලෝචනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කරන බව ද ඔවුන් සිය නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

WhatsApp Image 2026 10 13 at 9.39.15 AM