ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වනවිට වර්ධනයවන කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (12) රාත්‍රියේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන පවසනවා.
වත්මන් කාලගුණ තත්ත්වය හා ඒ හේතුවෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ, අනුව දිවයිනේ සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (12) රාත්‍රියේ සිට වැසි වැඩිවීමක් ඇති විය හැකි බවයි ඔහු සඳහන් කළේ.
මෙහිදී මිලි මීටර් 100 -150 දක්වා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර පවතින දැඩි වර්ෂාපතයත් සමඟ දිවයිනේ නායයෑම් කලාප රැසක නායයෑමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කලමනාකරන අංශයේ අධ්යක්ෂ ඒ.එල්.කේ. ලක්සිරි ඉන්ද්‍රතිලක මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළා.










