ශෂි වීරවංශට දඬුවම් නියම කිරීමේ නඩුව ලබන 26 තෙක් කල්යයි

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරියව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වූ රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට අදාළ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන 26 දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (12) නියෝග කළා.

එදිනට විත්තිකාරිය විසින් ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇපෑල සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළ කාර්ය සටහන් වර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

අද දින එම ඇපෑලට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියම කළා.

පෙර නඩු දිනයේ දි විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායිකාව දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය සටහන් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්නේ ද යන්න පිළිබඳව විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ නීතිඥවරයා කියා සිටියේ ඉදිරි දිනයේ දී එය ගොනු කරන බවයි.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව කැඳවීම ලබන 26 වැනි දින කැඳවිමට නියම කළා.

අදාළ චෝදනාවට විත්තිකාරිය වරදකාරිය කරමින් මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2022 මැයි මස 27 වන දින තීන්දුවක් ලබාදෙමින් වසර දෙකක සිර දඬුවමක් සහ ලක්ෂයක දඩයක්‌ නියම කර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවමක් නියම කර තිබුණා.

මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් එම තීන්දුව 2026 ජුනි මස 11 වැනි දින මහාධිකරණය මගින් ස්ථිර කළා.