අලුත් පොලිස් නිල ඇඳුම ලබන වසර අගවන විට

ලබන වසරේ අග භාගය වන විට පොලිස් නිල ඇඳුම වෙනස් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

බියගම පොලිස් ස්ථානයේ ඊයේ (10) පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර එළඹෙන අයවැයෙන් පොලිස් නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉදිරියේ දී විශාල පහසුකම් ප්‍රමාණයක් ලබාදීමට රජයක් ලෙස සැලසුම්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

එමෙන්ම වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මකවන පොලිස් දෙපාර්තමෙන්තුව පසුගිය ගෙවුණු වසර දෙක තුළ ජනතාවට සෑහීමකට පත්විය හැකි ප්‍රතිඵල ප්‍රමාණයක් නිර්මාණය කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.