දඹුල්ල නව රෝහල ඉදිකිරීමට යෝජිත භූමිය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

දඹුල්ල මූලික රෝහලේ පවතින අධික රෝගී තදබදයට සහ ඉඩකඩ හිඟයට ස්ථිර විසඳුමක් ලබා දෙමින්, රුපියල් බිලියන 12ක දැවැන්ත පිරිවැයකින් ඉදිකිරීමට යෝජිත නව අංගසම්පූර්ණ රෝහල් සංකීර්ණය ඉදිකිරීමට නියමිත භූමිය ඊයේ (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නිරීක්ෂණයට ලක් වුණා.

දඹුල්ල රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි, වෛද්‍ය අරුණ කුමාර ද මෙම අවස්ථාවට එක් වෙමින් ඉඩමේ ප්‍රධාන සැලස්මට අනුව ඉඩමේ පිහිටීම මෙන්ම සැලසුම් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබුවා.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොහොරන්වැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි රංගිරි දඹුලු රජමහා විහාරය විසින් වෙන් කරන ලද අක්කර 05ක පමණ භූමි භාගයක් මෙම රෝහල ඉදිකිරීම සඳහා තෝරා ගෙන තිබෙනවා.

ව්‍යාපෘතියේ මූලික සැලසුම්, ඉංජිනේරු වාර්තා මෙන්ම ඉදිකිරීම් කටයුතු ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කරමින් ඉඩමේ මූලික සංවර්ධන කටයුතු මෙම වසරේ ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නා.

රෝහල නව භූමියේ ස්ථාපිත කිරීම තුළින් මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 04 ක ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැලසෙනු ඇති.