නාගොඩ අවන්හලේ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අයෙක් වාලච්චේනෙන් අල්ලයි

කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ, ගල්ලස්ස ප්‍රදේශයේ අවන්හලක් තුළ දී වෙඩි තබා එහි හිමිකරු ඝාතනය කර ඔහුගේ බිරිඳට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (09) පස්වරුවේ මෙම සැකකරු වාලච්චේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

35 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අද (10) උදෑසන වාලච්චේ පොලිසියට භාරදීමෙන් අනතුරුව අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක් දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා.

ඊයේ (09) උදෑසන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර, T56 වරග්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීමට යොදාගෙන තිබූ බව පොලිසිය සඳහන් කළා.

වෙඩි තැබීමෙන් අවන්හලේ හිමිකරුවන තුෂාර සම්පත් නැමැති අවුරුදු 54ක දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වුණා.

ඔහුගේ 52 හැවිරිදි වියේ පසුවන බිරිඳ මෙහිදී බරපතළ තුවාල ලබා නාගොඩ රෝහල වෙත ඇතුළත් කෙරුණා.