කච්චතිව් දූපත සම්බන්ධයෙන් 1974 සහ 1976 වසරවල ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඉන්දීය රජය වෙනුවෙන් එරට නීතිපති ආර්. වෙන්කටරාමනී අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන බවත්, ඉන්දීය ධීවරයන් සම්බන්ධ ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ විසඳීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාව විසින් ගනු ලබන තීරණ පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට බල කළ නොහැකි බවද ඉන්දීය නීතිපතිවරයා සඳහන් කර තිබෙනවා.
1974 ගිවිසුම මඟින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සහ 1976 ගිවිසුම මඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයන්ගේ ධීවර අයිතිවාසිකම් සීමාකිරීම අභියෝගයට ලක්කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාග කෙරෙමින් පවතිනවා.










