මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල කොටස්කරුවන් වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2900 කට ලබන දෙසැම්බර් මස යතුරුපැදි ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.*
නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1,056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (04) අරලියග මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණා.
වසර එකහමාරක සාර්ථක හා විධිමත් පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පත්වීම් ලැබූ මෙම නිලධාරිනියන්, දිවයින පුරා පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතයි.
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවාවන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවය, ජනතාව වෙත සෞඛ්‍ය සේවාවන් වඩාත් සමීපව හා අඛණ්ඩව සැපයීමේදී සුවිශේෂී වැදගත්කමක් උසුලනවා.
නවක නිලධාරිනියන් 1,056 දෙනෙකු සෞඛ්‍ය සේවයට එක්වීම එම සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් දායකත්වයක් සපයනු ලබනවා.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය කාල වකවානුවක මෙම පත්වීම්ලාභි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සෞඛ්‍ය සේවාවට එක්වන බවත්, වත්මන් සෞඛ්‍ය සේවාව ගමන් කරන දිශානතිය නිවැරදිව දැන සිටීම මගින් ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේදී එය වඩා පහසුවක් වනවා මෙන්ම එම ගමන් මගට බාධාවන් විය හැකි විවිධ වෘත්තීන් අතර වන හැලහැප්පීම් අවම කර ගැනීමටද පහසුවක් වනු ඇති බවයි.
පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා මෙරට සියලු ජනතාවට නිරෝගීමත්, සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” වැඩපිළිවෙළ තුළ රජය සියලු අංශ මෙහෙයවන බවද මෙතුවක් කල් එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ කරුණු කාරණා සොයා බලා ඊට පිළියම් යොදන බවද පැවසුවා.
පිළිසිඳ ගැනීමේ සිට වියපත් වන තෙක් මුළු ජීවන චක්‍රයටම පුද්ගල කේන්ද්‍රිය මැදිහත්වීමකින් යුත් සෞඛ්‍ය සේවාවෙන් අවශ්‍ය වන බවත් එම අරමුණු සහතික කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
සෞඛ්‍ය ජයග්‍රහණ සඳහා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් සෞඛ්‍ය වෘත්තිකයින් ක්ෂෙත්‍රයේ සිදුකරන ලද දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා එම වෘත්තිකයින් විසින් ප්‍රතිශක්තිකරණය, ළමා ළදරු පෝෂණය, ළදරු මරණ අනුපාතිකය අඩුකර ගැනීම ආදි මාතෘ හා ළදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් මුළු ලෝකයටම ආදර්ශයක් ලබාදිය හැකි අප රටටම ආවේණික ආකෘතියක් නිර්මාණය කර ඇති බවද පැවසුවා.
මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ එම අත්දැකීම් ද යොදා ගනිමින් රජය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ප්‍රබල කොටස්කරුවන් වන බව ද පසුගිය මාර්තු මස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976 ක් බඳවා ගත් බවත්, තවත් 39 පත්වීම් ලබාදිය යුතුව ඇති බවත්, ඒ අනුව මෙම වසර 02 තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2,071ක් බඳවා ගැනීමටත් උසස්වීම්, දීමනා සහ පුහුණු ලබාදීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2,900 කට පමණ දෙසැම්බර් මස වනවිට ස්කූටි වර්ගයේ යතුරුපැදි ලබාදීමටත්, වසර කිහිපයක් තුළ ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනාටම ස්කූටි වර්ගයේ යතුරුපැදි ලබාදීම රජයේ පරමාර්ථය බව ද පැවසූ අමාත්‍යවරයා, රාජ්‍ය සේවාවෙි මානව සම්පත ශක්තිමත් කිරීමේ බඳවා ගැනීමි සිදු කිරීමෙි දී වැඩිම පිරිසක් බඳවාගෙන ඇත්තේ සෞඛ්‍ය සේවාව සඳහා වන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන කළා.










