රටට එන ආයෝජනවල ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් විය යුතුයි – අග්‍රාමාත්‍යවරිය

විශාල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන අවශ්‍ය බවත්, නමුත් සියලු ආයෝජන සහ පාර්ශවකාරීත්වයන් වගවීමෙන් සහ නිසි නියාමනයෙන් යුතුව සිදුවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) II වන අදියර නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (30) දින අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නත්, නූතන තාක්ෂණයෙන් පිරුණු තරඟකාරී ආර්ථිකයක් හදන්නත් වරාය ක්ෂේත්‍රයෙන් විශාල මෙහෙයක් ඉෂ්ට වෙනවා. ඉන්දියන් සාගරයේ ප්‍රධාන නාවික මාර්ග ආසන්නයේ පිහිටලා තියෙන එක අපේ රටට ලැබුණු ලොකු වාසියක්. අපේ රටේ තියෙන උසස් වරාය පද්ධතිය, පුහුණු ශ්‍රම බලකාය සහ ජාත්‍යන්තර වෙළඳපොළට තියෙන ප්‍රවේශය හරියට පාවිච්චි කරලා, තිරසාර ආයෝජන ගේන්න, රැකියා උත්පාදනය කරන්න, අපනයන වැඩි කරන්න වගේම ආර්ථික පරිවර්තනය වේගවත් කරන්න රජය බලාපොරොත්තු වෙනවා.

CWIT පර්යන්තයේ පාවිච්චි වෙන Automated Cranes, විදුලි පර්යන්ත වාහන (Electric ITVs) සහ සජීවී නිරීක්ෂණ පද්ධති (Real-time monitoring systems) වගේ නූතන ඩිජිටල් තාක්ෂණයන් ඉතාම අගය කළ යුතුයි, නමුත් වරායේ භෞතික ධාරිතාව වැඩි කරනවා වගේම, මෙවැනි තාක්ෂණයන් ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශීය තාක්ෂණික සහ මානව කුසලතා වර්ධනය කිරීමත් අත්‍යවශ්‍ය කරුණක්.

විශාල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න රාජ්‍ය වගේම පෞද්ගලික ආයෝජනත් ඕන වෙනවා. හැබැයි ඒ සියලු ආයෝජන සහ පාර්ශවකාරීත්වයන් වගවීමෙන් සහ නිසි නියාමනයෙන් යුතුව සිදුවෙන්න ඕනේ. රටට එන ආයෝජනවල ප්‍රමාණය වගේම ඒවායේ ගුණාත්මකභාවය, තිරසාර බව සහ රටේ දිගුකාලීන ආර්ථික හා උපායමාර්ගික අභිලාෂයන්ට ගැලපෙනවාද කියන එක ගැනත් අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය රැඳිලා තියෙන්නේ කලාපීය සහ ජාත්‍යන්තර සහකරුවන් එක්ක හදාගන්න ශක්තිමත් සබඳතා මතයි. විශේෂයෙන්ම අපේ ප්‍රධානතම ආර්ථික හා කලාපීය සහකරුවෙක් වෙන ඉන්දියාව එක්ක තියෙන වෙළඳ, ආයෝජන සහ ජනතා සබඳතා, දෙරටේම අන්‍යෝන්‍‍ය අභිලාෂයන්ට සහ ප්‍රමුඛතාවලට ගෞරව කරමින් තවදුරටත් ශක්තිමත් කරගන්න ලොකු හැකියාවක් තියෙනවා.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, වරාය, නාවික හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සභාපතිවරුන්, ආයතන ප්‍රධානීන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්