ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත මඟින් නව ක්‍රිකට් පාලන ව්‍යුහය සඳහා ස්වාධීන අධ්යක්ෂවරුන් ඇතුළත් කිරීමට යෝජනා කර ඇති අතර, නව නීතිරීති යටතේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඍජුව තීරණ ගැනීම සිදු නොකරන අතර, එම සංගම් පළාත් ක්‍රිකට් සංගම් හරහා කටයුතු කිරීමට නියමිත බව අනාවරණය වුණා.
මේ පිළිබඳව අනාවරණය වුණේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.
පාසල් ක්‍රිකට් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 900ක මුදලක් සහ උපකරණ ලබා දෙන බවත්, පුහුණුකරුවන් බඳවා ගැනීම සහ ක්‍රීඩක තේරීම් ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමඟ වැඩපිළිවෙළක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් කාරක සභාවට අනාවරණය වුණා.
එමෙන්ම, ක්‍රීඩා සංගම් සම්බන්ධ විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර, ක්‍රීඩා සංගම් 33ක් අදාළ නිර්දේශ සම්පූර්ණ කර ඇති බවත්, තවත් සංගම් 33ක් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට නියමිත බවත් කාරක සභාවේදී ප්‍රකාශ වුණා.
මහජනතාව සෞඛ්‍ය හා ව්‍යායාම කටයුතු සඳහා භාවිත කරන ඇවිදින මංතීරු සහ ක්‍රීඩා සංකීර්ණවලින් ගාස්තු අය කිරීම වහාම අත්හිටුවීමට අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති අතර, ක්‍රීඩාව ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස නොව ජාතික සෞඛ්‍යය හා ප්‍රජා සුබසාධනය සඳහා වන රාජ්‍ය වගකීමක් ලෙස පවත්වාගෙන යා යුතු බවට වූ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය අවධාරණය කෙරුණා..
සෑම පළාතකටම අවම වශයෙන් එක් කෘත්‍රිම ධාවන පථයක් (synthetic track) ලබාදීමේ සැලසුම යටතේ මීළඟ කෘත්‍රිම ධාවන පථය අනුරාධපුරයේ ඉදිකිරීමට නියමිත බවත් සඳහන් වුණා.
දැනට දිවයිනේ කෘත්‍රිම ධාවන පථ දෙකක් පමණක් පවතින බවද කාරක සභාවේදී සඳහන් වුණේ.
අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පහසුකම් සංවර්ධනය, මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගනය සහ හිඟුරක්ගොඩ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය, බදුල්ල හාලිඇල ප්‍රදේශයේ ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම සහ කළුතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේ පවතින ගැටලු විසඳීම පිළිබඳවද කාරක සභාවේදී කරුණු සාකච්ඡා කෙරුණා.
තවද, ජාත්‍යන්තර තරඟ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල ජාතික කණ්ඩායම් සහ නිල වශයෙන් හඳුනාගත් ජාත්‍යන්තර තරඟාවලි සඳහා පමණක් ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජාතික තේරීම් හා විදේශ තරඟ සඳහා කණ්ඩායම් යැවීමේදී කිසිදු ජාතියක් හෝ ප්‍රදේශයක් හෝ මත පදනම්ව වෙනස්කම් සිදු නොකරන බවත් කාරක සභාවට අනාවරණය වුණා.













