ඔක්තෝබර් පළමු වනදා සිට බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එහිදී ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.