ජාවාරම්කරුවන් විසින් අතහැර ගිය බීඩි කොළ කිලෝ 900ක් සොයාගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කළපුව ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (22) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 900කට අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, වයඹ නාවික විධානයේ පුත්තලම ගගේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බළඝණ මූලස්ථානය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, එම කළපු ප්‍රදේශයෙහී ළඳු කැලෑවක තිබූ සැකකටයුතු උර 24ක් පරීක්‍ෂාවට ලක්කෙරුණා.

එහිදී, නීති විරෝධී ලෙස රට තුලට රැගෙනවිත්, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් 908ක පමණ තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා.

තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.