අනෝජන් සම්බන්ධයෙන් ජනපතිගේ ලිපිය අරන් පාර්ලිමේන්තු කණ්ඩායමක් සෞදියට

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ගේ මරණ දණ්ඩනය ලිහිල් කරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සෞදියේ රජු වෙත ලිපියක් යොමු කිරීමට නියමිත බව විදේශ කටයුතු පිළිබද අමාත්‍ය විජිත හේරත් අද (22) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ, එම ලිපිය නිල වශයෙන් භාරදීම සඳහා පක්ෂ – විපක්ෂ නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් සෞදිය වෙත යාමට, තමන් යෝජනා කරන බවයි.

එමෙන්ම, සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරයා සහ තමන් අතර හමුවක්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී සිදු වන බවත්, මේ සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගන්නා බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම සිවරාසා අනෝජන්ගේ නීතිමය කටයුතු සඳහා, මේ වන තෙක් වැයවූ සියලු වියදම් සහ ඉදිරි සියලු වියදම්, රජය විසින් දරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්