22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීම අද

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (22) දිනයේ කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳව වූ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය ඊයේ (21) දිනයේ දී කතානායකවරයා අතට පත් වූ බවයි කතානායක කාර්යාලය නිවේදනය කළේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පසුගිය අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් පෙත්සම් 67ක් ශ්‍රේෂ්ඨධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.

එම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණු අතර, සැප්තැම්බර් 02 වනදා එම පෙත්සම් විභාගය අවසන් කළා.

පෙත්සම් විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අර්ථ නිරූපණය කතානායකවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බවයි.

ඒ, අනුවයි මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය කතානායකවරයා වෙත පත්ව ඇත්තේ.