මැදපෙරදිග පවතින වත්මන් තත්ත්වය සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සලකා බලා සැප්තැම්බර් මාසය අවසානයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබුණ ද දේශීය වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ඊට සාපේක්ෂව පහළ මට්ටමක බවයි.
මෙලෙස පහළ මිල මට්ටමක තිබිය දී ඉන්ධන අලෙවිය අභියෝගයක් බව මෙරට තුළ ක්‍රියාත්මක පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් කිහිපයක් රජයට කරුණු වාර්තා කර ඇති බවත්, එම සමාගම්වල නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඉන්ධන හිඟයට සහ මිල ඉහළ යාමට විසඳුම් කිහිපයක් පවතින බවත්, රජය මැදිහත් වී ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ මිල ගණන් සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීම වැනි ක්‍රමවේද කිහිපයක් ඔස්සේ අවසන් තීරණයක් ගනු ලබන බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර සෑම මසකම අවසානයේ සිදුකරන ඉන්ධන මිල සංශෝධනයේ දී පවතින තත්ත්වයන් සහ සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බලා මෙම මස අවසානයේදී ද ඊට අදාළ ඉදිරි පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.













