ගම්පහ දී වෑන් රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල ගැන තොරතුරු රැසක් හෙළිවෙයි – වෑන් රථය තුළ හෙරොයින් සහ අයිස්

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ඊයේ (12) රාත්‍රියේ පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් වෑන් රථයේ රියදුරු තුවාල ලැබූ අතර, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

සැකකාර රියදුරා වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී පොලිස් නිලධාරීන් විසින් වෑන් රථය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 510ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 500ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට වෑන් රථයකින් ගම්පහ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදාහරින බවට තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුරට අනුව වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) පස්වරුවේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

ඒ, අනුව සැකකටයුතු වෑන් රථයක් ගම්පහ, උඩුගම්පොල දෙසට ගමන් ගන්නා බවට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් ජීප් රථයෙන් අදාළ වෑන් රථය පසුපස හඹාගොස් තිබෙනවා.

එහිදී වෑන් රථය උඩුගම්පොල මාර්ගයේ මල්වත්ත හන්දිය ප්‍රදේශයේ දී නවත්වා ඇති අතර, එම අවස්ථාවේ දී වෑන් රථය පසුපස හඹා ආ පොලිස් නිලධාරීන් විසින් රථය පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී වෑන් රථයේ රියදුරු රථය පොලිස් අණ නොතකා ධාවනය කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක්, බස් රථයක් සහ පොලිස් ජීප් රථය ද අනතුරට ලක්කර වෑන් රථය ධාවනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් වෑන් රථය දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, වෙඩි වැදීමෙන් වෑන් රථයේ රියදුරු තුවාල ලබා තිබෙනවා.

ඉන් අනතුරුවයි සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත්තේ.